බ්‍රසල්ස් නුවර පිපිරීම: සැකකරු වෙඩි පහරින් මරණයට

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකරමින් බ්‍රසල්ස් නුවර මධ්‍යම දුම්රිය ස්ථානයේදී බෙල්ජියම් හමුදා භටයන් විසින් වෙඩි තබන ලද පුද්ගලයා මිය ගිය බව එරට බලධාරීහු පවසති.

ඔහුට වෙඩිතබා ඇත්තේ දුම්රිය ස්ථානය තුළ පිපිරීමක් ඇතිවීමෙන් අනතුරුවය. පිපිරීමෙන් කිසිවෙකු තුවාල ලබා නොමැති බව විශ්වාස කෙරේ. බ්‍රසල්ස් නුවර බලධාරීන් කියා සිටියේ ඊයේ රාත්‍රියේ (ජුනි 20) සිදුවූ මෙය සුළු පිපිරීමක් වුවත් එය ත්‍රස්ත ක්‍රියාවක් සේ සළකා කටයුතු කරන බවය.

පිපිරීමෙන් අනතුරුව දුම්රිය ස්ථානයේ සිටි සියලු දෙනා ඉවත් කරන ලද අතර දුම්රිය ගමන් ද තාවකාලිකව අත්හිටවන ලදී. දුම්රිය ස්ථානයේ සිටි හමුදා භටයන්ගේ සැකයට භාජනය වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා තමා අත තිබූ ගමන් මල්ලක් පුපුරවා හැර තිබේ.

බෙල්ජියමේ පොලිස් ප්‍රකාශකයෙක් ඊයේ බීබීසීයට කියා සිටියේ බෝම්බයක් බැඳ ගෙන, උරස් මල්ලක් රැගෙන සිටි පුද්ගලයෙකු විසින් දුම්රිය ස්ථානයේ කුඩා පිපිරීමක් සිදු කරන ලද බවය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ද මෙවැනි ප්‍රහාරයක් බ්‍රසල්ස් නුවරට එල්ල වූ අතර ඊට ගොදුරු වී 32 දෙනෙක් මිය ගියහ. එම ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) භාර ගත්තේය.

– බීබීසී සිංහල –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top