රාජ්‍ය දේපළවලට හානි සිදු කළ අයට එරෙහිව දැඩි නීතිමය පියවර

පොදු දේපල පනත යටතේ රාජ්‍ය දේපලවලට හානි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොලවලට දැඩි හානි සිදුකිරීම සම්බන්ධයෙනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශය අවට සීසීටිවී දර්ශන පරීක්‍ෂා කරමින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී ප්‍රියන්ත ජයකොඩි මහතා කියා සිටියා.

සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලමින් සංවිධාන කිහිපයක් ඊයේ මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවයි ඊට මුල් වූයේ. මහජනයාට පීඩාකාරී ලෙස උද්ඝෝෂණ නොපවත්වන ලෙස ලබා දී තිබූ අධිකරණ නියෝගය ද කඩ කරමිනුයි මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූයේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක් ඇති කරමින් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කරමින් පෙළපාලිවලින් පැමිණි පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළු වී පැය තුනකට ආසන්න කාලයක් එහි රැදී සිටියා.

ඔවුන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක් දැරුවා. එහිදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හමුවේ පිරිස ඉවත් කිරීමට පොලීසියට ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා. එහිදී සිසුන් ද ආරක්ෂක අංශ වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කළා. සුවසිරිපාය ගොඩනැගිල්ලෙන් ඉවත්ව යාම ප්‍රතික්ෂේප කළ පිරිස එහි දේපළවලට හානි සිදු කළා. ගොඩනැගිල්ලේ යකඩ ගේට්ටු කිහිපයක් ද කඩා දැමුවා. මෙම ගැටුමේදී තුවාල ලැබූ  සිසුන් පනස් හත් දෙනෙකු සහ පොලිස් නිලධාරීන් පස් දෙනෙකු රෝහල්ගත කෙරුණා. ඊයේ බදාදා දිනය මහජන දිනය වු බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීමට පැමිණි සාමාන්‍ය ජනතාව ද පත් වූයේ දැඩි අසීරුතාවකටයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top