SRILANKAN NEWS

සියළු ජාතීන් සමඟියෙන් ජීවත්වීමට රජය විසින් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා! – අගමැති

ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සමඟියෙන් ජීවත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විසින් කටයුතු කර තිබෙනවා. ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩක් නෑ. පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන් සෑම කුඩා සිදුවීමක් ම අන්තවාදී සහ ජාතිවාදී ක්‍රියාකාරකම් ලෙස අර්ථ දැක්වීමට කටයුතු කරන අයට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඇතැම් සංවිධානත්මක පිරිස් රටේ ජාතිවාදය ඇති කිරීමට උත්සහ කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට සමඟියෙන් ජීවත්වීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගැනීමට රජය විසින් කටයුතු කර තිබෙනවා. අන්තවාදී හා ජාතිවාදී ක්‍රියාකාරකම් පසුගිය රජය සමයේ සිදු වුණේ,අනුග්‍රහය ඇතිවයි.ඒවා නවතා දැමීමටත් සංහිදියාවක් ඇති කිරීමටත් මේ රජය වහාම පියවර ගත්තා.

අතුරුදහන් තැනැත්තන් පිළිබඳව වූ කාර්යාලය පිහිටුවීම පනත සම්මත කර ගැනීම,ජාතික සමඟිය සහ සංහිදියාව කාර්යාලය පිහිටුවීම,සංහිදියා යාන්ත්‍රණය පිළිබඳ ලේකම් කාර්යාලය පිහිටුවීම,එවැනි ක්‍රියාමාර්ග රැසක් අප රජය විසින් ගනු ලැබුවා.

මේ සියලු ක්‍රියාමාර්ගවල අරමුණ වූයේ, සංහිදියාව ඇති කර ආගමික සහජීවනය සහිත සපිරි සමාජයක් ඇති කිරීමයි. පසුගිය දිනවල ප්‍රදේශ කීපයකින් යම් ගැටුම් කාරී සිද්ධීන් කීපයක් වර්තා වුණා. මෙවර අනුග්‍රහයක් ලැබුණේ නෑ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ කෙසේ හෝ බලයට පැමිණීමට පටු දේශපාලන අරමුණු සහිත පුද්ගලයන් සෑම කුඩා සිදුවීමක් ම අන්තවාදී සහ ජාතිවාදී ක්‍රියාකාරකම් ලෙස අර්ථ දැක්වීමට කටයුතු කරන බවට අපට පෙනී ගොස් තිබෙනවා.

ඔවුන්ගේ අරමුණ කිසිවක් නොව,ජාතිවාදය අවුස්සා, බලය ලබාගැනීමයි.අපි මේ ගැන ක්‍රියා කළා.කීපදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. කණගාටුවෙන් වුවද කියන්නට සිදුවන්නේ සමහර ජනමාධ්‍ය ආයතන මෙම ජාතිවාදී ආගම්වාදී විෂබීජ පැතිරවීමේ පහත් ක්‍රියාවන්වල නිරතවන බව පැහැදිළිය. ස්වල්ප දෙනෙක් පක්ෂව කතා කරනවා. ජාතිවාදය අවුස්සමින්,ක්‍රියාකරන,නිරත්වන්නන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.ඒ අනුව සෑම පොලිස් වසමක ම දිවා රාත්‍රී ජංගම, විශාල පාමුර සංචාර, මාර්ග බාධක වැඩි කිරීම,විශේෂයෙන් පසුගිය සිදුවීම් ඇති වූ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටත් ප්‍රජාව දැනුවත් කිරීමටත්,අප්‍රමාදව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පති වාර්තා කර තිබෙනවා.

අළුත්ගම ප්‍රදේශයේ ඇති වූ සිද්ධිය හේතුවෙන් හානි වූ දර්ගා නගරයේ පල්ලිය යථාතත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා. මියගිය අයට වන්දි ලබාදී තිබෙනවා. නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ජාතිවාදය උළුප්පමින් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු කරන පුද්ගලයන් සියලු දෙනාගෙන් ප්‍රවේශම් විය යුතුයි.

දේශපාලන වශයෙන් අනාථ වී සිටින මොවුන් ජාතිවාදය මත එල්ලී තම අරමුණු ඉටු කරගැනීමට මාන බලමින් සිටිනවා. ඒ වාගේම මේ අපරාධවලට යෙදුණු අය ආරක්ෂා කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවිය යුතුයි.අප සියලු දෙනා එක්වී මේ පහත් ක්‍රියාවන් පරාජය කළ යුතුයි.ජාතිවාදයට හා ආගම්වාදයට ඉඩක් නෑ.එම අයට හිමි වන්නේ ඉතිහාසයේ කුණු බක්කියයි.

මෙහිදී ප්‍රශ්නයක් නෑඟූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා,ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලයට අයි එස් අයි එස් තර්ජනයක් ඇතැයි ඉරිදා පුවත් පතක් වාර්තා වී ඇති බවත්, එය ප්ලාන්ට් කළ පුවතක් බවත් , තනාපති කාර්යාලය එය ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්නේ දැයි මන්ත්‍රීවරයා විමසීය.

එයට පිළිතුරු ලබාදුන් අග්‍රාමාත්‍යවරයා,
මේ පිළිබඳව ප්‍රවෘත්තියක් ලැබී තිබුණා. ඇමරිකන් තානාපති කාර්යාලයට එහෙම එකක් ලැබී නෑ කියනවා. අපි දන්නේ නෑ මේ පුවත් පතට විශේෂ තොරතුරු තියෙනවද කියලා.අපි පොලීසියෙන් ඉල්ලා තිබෙනවා,ඒ අයගෙන් විශේෂ තොරතුරු ලබාගෙන එසේ අනතුරක් තිබෙනවා නම් අදාළ පියවර ගන්න කියා තිබෙනවා.