SRILANKAN NEWS

රණවිරුවන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදීමට මැදිහත්වනවා – රුවන් විජයවර්ධන

රණවිරුවන් අපහසුතාවයට පත්කිරීමේ අවශ්‍යතාවක් රජයට නැහැ - ආරක්ෂක රාජ්‍ය ඇමතිරණවිරුවන් අපහසුතාවයට පත්කිරීමට මේ රජයට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් තමා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නිරන්තරයෙන්ම රණවිරුවන්ට පැනනැගී ඇති ගැටළු සඳහා විසඳුම් ලබාදීමට මෙන්ම හැකි සෑම පහසුකමක්ම ලබාදීමට මැදිහත්වන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මෙලෙස අදහස් දැක්වුයේ පසුගිය දා රණවිරු සේවා අධිකාරිය මගින් “රණවිරුවන් සඳහා අවශ්‍යතා ලබාදීම සහ ඔවුන්ගේ ගැටළු විමසීම පිළිබඳව” අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට සහභාග වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ විවිධ අයවළුන් දේශපාලන වාසි ලබාගැනීමට වත්මන් රජය රණවිරුවන් සඳහා නොසලකන බවත්, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව සොයා නොබලන, ඔවුන්ව කොන්කරන දඟගෙට යැවීමට තැත්කරන පිරිසක් ලෙස බවත්, වත්මන් ජනාධිපතිවරයා ඇතුළු මේ රජය රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් කළ හැකි සියලුම දේ කරන රජයක් බවය.

දේශපාලඥයෙක් ලෙස තමා කථා පැවැත්වීමට වඩා සවන්දීමට කැමති පුද්ගලයෙක් බවත් බොහෝ දේශපාලනඥයින් එලෙස සවන්දීමට අකමැති අය බවත් කීය.

රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ අම්පාර දිස්ත්‍රික් “රණවිරු සංසද” සාමජිකයින්ගේ ගැටළු සොයාබැලීම වෙනුවෙන් මෙන්ම ඔවුනට කෘත්‍රිම පාද අත්වාරු, “විරුසර වරප්‍රසාද කාඩ්” මෙන්ම රණවිරු දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම වෙනුවෙනි. මෙහිදී රණවිරු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 32 ප්‍රදානය කෙරුණි. මෙහිදී විශේෂයෙන් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ මෙන්ම දැනට සේවයේ යෙදී සිටින රණවිරුවන්ගේ ගැටළු පිළිබඳ ව සොයා බැලීම සිදු කරන ලදී.

මේ අවස්ථාවට අම්පාර ප්‍රාදේශීය ලේකම්වරයා, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂවරයා, අම්පාර පොලිස් අධිකාරි, රණවිරු සංසද සාමාජිකයින් දැනට සේවයේ නියුක්ත හමුදා සාමාජිකයින් ඔවුන්ගේ දූ දරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.