SRILANKAN NEWS

හිරේ සිටිය යුතු අය කැබිනට් මණ්ඩලය තුල – දූෂණ විරෝධී හඩ

දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය අහෝසි කළේ හිරේ සිටිය යුතු අය කැබිනට් මණ්ඩලය තුල සිටීම නිසා ඔවුන්ව ආරක්ෂා කිරීමට බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. පසුගිය දා මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කළ ඒ මහතා දූෂණ විරෝධී කමිටු කාර්යාලය අහෝසි කිරීම හේතුවෙන් දූෂිතයින්ට දඩුවම් ලබා දීම අඩපන වී ඇති බවද වැඩිදුරටත් සදහන් කරයි.

දූෂණ විරෝධී හඩ ඉදිරිපත් කළ පැමිණිලි 80ක් සහිත විමර්ශනය කළ පැමිණිලි 100කට අධික ප්‍රමාණයක් නීතිපතිවරයා සතුව පවතින බවත් එම පැමිණිලිවලට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇතැයි කිසිදු විශ්වාසයක් නොමැති බවත් මන්ත්‍රිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනටයි. අගමැති රනිල් වික්‍රමසිංහටයි ආපු ලොකුම චෝදනාව බැඳුම්කර වංචාව. මේ වෙද්දී අර්ජුන් මහේන්ද්‍රන්ටවත්, ඇලෝසියස්ටවත්, මහ බැංකු නිලධාරීන්ටවත් ගත්ත එක ක්‍රියාමාර්ගයක් පුළුවන් නම් රටට ඔප්පු කරන්න. දූෂණ මර්දන කමිටු කාර්යාලය වහලා දැම්මම එෆ්.සී.අයි.ඩී.යත් ඉබේම වැහෙනවා. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්න තැනක් නැහැ. හරි සරලයි. මේ මහත්වරු දෙන්නගේ සූත්තරේ. මහබැංකු බැඳුම්කර හොරු රකින්න ඔවුන්ට ඕන වුණාට අපි අපේ සටන දිගටම ගෙනියනවා යැයි සමරසිංහ මහතා අවධාරණය කරයි.

ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය ගිණුම වංචාවට කටඋත්තර දෙන්න කිව්වම කතානායක නිල නිවෙසට පැමිණිල්ල ලියාගන්න කියලා නිලධාරි එව්වේ කවුද? රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්ෂගෙ කල්ලියේ නඩු ප්‍රමාද කරන්නෙ කවුද? මෛත්‍රිපාල සිරිසේන. මෛත්‍රියි, රනිලුයි දෙන්නම එකතු වෙලා මේ ආණ්ඩුවේ රවි කරුණානායකලා, කිරිඇල්ලලා, ලක්ෂ්මන් සෙනෙවිරත්නලාගේ දූෂණ ඔක්කොම රකිනවා යැයි ඔහු පවසයි.

අපි කරපු ගල්අඟුරු ගනුදෙනුව, ලේක්හවුස් ඉඩම, ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ පැමිණිලිවල විමර්ශන කොහොම ක්‍රියාත්මක වෙයිද? ජනාධිපති මහා ලොකුවට නිල්වලා ගං ව්‍යාපෘතියක කෝටි 402ක හොරකමක් හෙළි කෙරුවා. එක පස් පිඩැල්ලක්වත් කැපුවෙත් නෑලු. ජනවාරි 5 කරපු මිලියන 1003 ගෙවීම පැත්තකින් තියන්න. ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසෙන් මිලියන 2004ක් ගෙවනකම් මෛත්‍රි නිදාගෙනද හිටියේ. අඩු තරමේ තමන්ගේ පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මේ වෙනකම් හිස් බිල්ඩිමකට කෝටි දෙකහමාරක කුලී ගෙවනකම් ඒ ගැන මෛත්‍රි ප්‍රශ්න කළාද? ජනාධිපතිට අද ජනාධිපතිකමට වඩා හොරකම ආරක්ෂා කරන එක ලොකු වෙලා යැයිද හෙතෙම පැවැසීය.

මේ ගතවූ අවුරුදු 2ට පැමිණිලි 1,000ක් පමණ තියෙනවා. ගිය ආණ්ඩුවෙ වගේම මේ ආණ්ඩුවේ දූෂණ පිළිබඳ පැමිණිලි, ඒවාට ඇතුළත් පැමිණිලි 450ක් විමර්ශනය කරලා තියෙනවා. එයින් 250ක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙනුත්, 150ක් අල්ලස් හෝ දූෂණ කාර්යාලයෙනුත්, 70ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනුත් ඉදිරිපත් වුණු පැමිණිලි. බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩමේ සිට යෝෂිතගේ ඛ්ඉව් නාළිකාව ඇතුළු රාජපක්ෂගේ බරපතළ චෝදනා ජොන්ස්ටන්ගේ සතොස බඩු මිලදී ගැනීමෙන් කළ වංචා, වගේම මේ ආණ්ඩුවේ ජනාධිපතිගෙ මල්ලිට, රාජිත සේනාරත්නගේ වරාය සම්බන්ධ චෝදනා, රවි කරුණානායකගේ වාහන ගෙන්වීම, ඔහුගේ බිරියගේ, දුවගෙ නමට ගුදමක් ගැනීම, ලක්ෂ්මන් කිරිඇල්ලට, ලක්ෂ්මන් සෙනවිරත්නට, අකිල විරාජ්ට වගේම තව බොහෝ පැමිණිලි රාශියක් අපි ඉදිරිපත් කරලා තියෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමැතිව සිටි කාලයේ කරපු වංචාවට නීතිපතිවරයා නියෝග කළා, ඔහු ඇමැති බලතලවලින් තොරව කටයුතු කරල අත්අඩංගුවට ගන්න කියලා. ජනාධිපති ඒ එක්කම මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ලොක්කට කතා කරලා කියනවා ඔහු අත්අඩංගුවට ගන්න එපා කියලා.