ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මහනුවර රෝහලේදී සාර්ථකව සිදු කෙරේ

මහනුවර මහ රෝහලේදී සිදුකළ ශ්‍රි ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයට අනුව මෙම හදවත් බද්ධ සැත්කම පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුකර තිබේ. මෙම ශල්‍යකර්මය සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහ රෝහල, වැලිසර ලය රෝහල, බොරැල්ල ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එක් වූහ.

මෙම ශල්‍යකර්මයට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 34 ක කාන්තාවක් වන අතර ඇයට හදවත බද්ධ කරනු ලැබුවේ මොලය මියගිය 24 හැවිරිදි තරුණයෙකුගෙන් බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේය.

ඊට අමතරව එම තරුණයාගේ වකුගඩු තවත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබේ.

එම රෝගීන් තිදෙනාම මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ.

– newsfirst.lk/sinhala –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top