SRILANKAN NEWS

කේප්පාපිලවු ඉඩම් නිදහස් කිරීම ගැන ඉවසීමෙන් කටයුතු කරන්න – ජනපති ලේකම් සම්බන්‍ධන්ට කියයි

කේප්පාපිලවු ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධයෙන් පසුගිය බදාදා දින නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශයේ පැවැති සාකව්ඡාවෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා ජනාධිපති ලේකම්වරයා සමඟ ද සාකච්ඡා කළ අතර, මේ පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් සම්බන්‍ධන් මහතා වෙත පිළිතුරු ලිපියක් යවා තිබේ.

එහිදී මුල්ලතිව්, කේප්පාපිලවු ඉඩම් සම්බන්‍ධයෙන් තමන් ආරක්‍ෂක ලේකම් සහ හමුදා ප්‍රධානින් සමඟ සාකච්ඡා කළ බවත්, ඉකුත් ඉල්ලීම සම්බන්‍ධයෙන් ඔවුන් එකඟත්වය පළ කර ඇති නමුත්, කාලසීමාව ගැන අදහස් කිහිපයක් තිබෙන බවද පවසා තිබේ.

කෙසේ නමුත්, රටතුල අවතැන්වූවන් තම ඉඩම්වල නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය හා සහජීවන කටයුතුවලට ප්‍රමුඛත්වය ලබාදී කාලසීමාව ගැන සමාලෝචනය කර සහයෝගය ලබා දෙන්නැයි තමන් ඉල්ලා සිටි බවද හෙතෙම පවසා තිබේ.

ඒ අනුව, හැකි පමණින් කඩිනමින් නිසියාකාරව ඉඩම් නිදහස් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් ගැනීමට සහය ලබා දෙන ලෙස ආරක්‍ෂක ලේකම් හා හමුදා ප්‍රධානින්ගෙන් ඉල්ලා සිටි බවත්, මේ සම්බන්‍ධයෙන් ජනපතිවරයා ද දනුවත් කර ඇති බවද පවසා තිබේ.

ජනාධිපතිවරයා ද අවතැන්වූවන්ව නැවත පදිංචි කිරීම සම්බන්‍ධයෙන් උනන්දුවකින් කටයුතු කරන බවත්, ඉදිරියේදී මේ සම්බන්‍ධයෙන් තමන් ඉදිරිපත් කරන කටයුතු ගැන දැනුම් දෙන තෙක් තමන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටින බව ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා තිබේ.