SRILANKAN NEWS

සයිටම් නඩුව ලබන 10 වැනිදාට කල් තබයි..

මාලඹේ සයිටම් ආයතනයේ සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ අභියාචන පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සලකා බැලීම ලබන 10 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කර තිබේ.

මෙම අභියාචන පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී එහි අතරමැදි පෙත්සම්කාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ කියා ඇත්තේ උපාධි ප‍්‍රධාන ආයතනයක් සේ පිළිගැනීමට තරම් කිසිදු ප‍්‍රමිතියක් සයිටම් ආයතනය තුළ නොමැති බවය.

එසේම සයිටම් ආයතනයට අදාළව ඉකුත් ජනවාරි 31 අභියාචනාධිකරණ විසින් ලබා දුන් තීන්දුව දෝෂ සහිත එකක් වන බවත් එබැවින් අදාළ තීන්දුව ඉවත් කරන ලෙසත් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම දීර්ඝ කරුණු දැක්වීම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචන පෙත්සම පිළිබඳ පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 10 වැනි දිනට කල් තබන ලදී.

මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලේ.