SRILANKAN NEWS

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ගේ බැංකු ගිණුම් 11ක් පරීක්ෂාවට අවසර

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ බැංකු ගිණුම් 04ක් ඇතුළු මෙරට බැංකු 11ක බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විණිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (08) අවසර ලබා දී තිබේ.

වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලකට කොටස් මිලදී ගැනීමට කොටස් හිමියෙකුට තම දේශපාලන බලය උපයෝගී කොටගෙන, සහාය දක්වා අයුතු ලාභයක් උපයා දීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවරා ඇති නඩුවක විමර්ශන කටයුත්තක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එලෙස අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටි පරිදි “සිලෝන් ටී සර්විසස්” නැමති ආයතනයේ ප්‍රධාන කොටස් හිමියෙකු වන ටී. යන්තිවේල් නැමැත්තකුට කොටස් මිලදී ගැනීම සඳහා හිටපු මන්ත්‍රීවරයා සහාය දක්වා ඇති අතර “සිලෝන් ටී සර්විසස්” ආයතනයේ කොටස් සේවක අර්ථසාධක අරමුදල විසින් මිලදී ගැනීමේදී වෙළඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලක් පෙන්වා “සිලෝන් ටී සර්විසස්” ආයතනයට අයුතු ලාභයක් උපයා දී ඇත.

2013 වසරේ දෙසැම්බර් 21 වැනි දින සිද්ධිය සිදුවී ඇති අතර දේශපාලනය උපයෝගී කර ගනිමින් කොටස් වෙළෙඳපොළේ අයකු ලෙස මුදල් ඉපයීම තුළින් මුදල් විශුද්දිකරණය, රාජ්‍ය දෙපළ සාපරාධී පරිහරණය සහ විශ්වාසය කඩ කළ බවට වංචා දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ අගමැති කමිටු ලේකම් කාර්යාලයට (මේ වනවිට අහෝසි කර ඇත) 2015 වසරේ ජුනි 23 වැනි දින යොමු වී ඇති නිර්නාමික ලිඛිත පැමිණිල්ලක් අනුව හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව මූලික විමර්ශන සිදු කර ඉදිරි විමර්ශන කටයුතු සඳහා එය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමෙන් පසු මෙසේ නුඩු පවරා තිබේ. (ලංකා ටෘෘත්)