ARTICLES SRILANKAN NEWS

නුඹේ දේහය දැවුණු ගින්නෙන් ගල් ගැසුනු සිත්වල කරුණාව ඇතිවේවා…

Senth final new_CI– නඩරාජා ගුරුබරන් –

 නුඹේ මරණය මා විසින් පිළිගැනීමට නොහැක තරම්ය. නුඹේ ජීවිතය පරිත්‍යාග කිරීමේ ගැඹුර ගැන මා කිසිවක් නොදන්නෙමි… නුඹේ මරණය ගැන බොහෝ දෙනෙකු විවිද කරුණු කාරණා පවසා සිටියි..

මාවිරු සතියේ නොවැම්බර් 27ට ආසන්න දිනයක සිදුවූ නුඹේ මරණය, විර මරණයක් යැයි පවසයි.. පරිත්‍යාගයක් යැයි පවසයි.. වීරත්වය අමතක නොකළ දෙමළ ජනයාගේ කීර්තිය රැක ගැනීමට පා තැබූ මාවිරුවෙක් යැයි ප්‍රසංශා කරමින් සිටියි.. අන්තර්ජාල, සමාජ වෙබ් අඩවිවල නුඹ ව්‍යාප්තවී ඇත…

නුඹේ වයසේ මටත් පුතෙක් සිටියි.. නිවසින් පිටත්වන ඔහු යළි නිවසට පැමිණීමට ප්‍රමාද වූ විට මගේ සිතට ඇතිවන වේදනාව මා හොඳින් දැන සිටින්නෙමි.. නුඹව ද මගෙන් වෙන් කොට බැලීමට නොහැක.

මගේ පාසල් ජීවිතයේ, කොකුවිල් හින්දු විදුහලේ මා ඉගෙනුම ලැබූ කාලය සිහිපත් කරන්නෙමි.. නුඹේ දේහය රැගෙන ගිය සිසුන් පැළඳ සිටි ටැයි පටිය අතීතයේ අපද පැළඳගෙන පාසල් ගිය හැටි සිහිපත් කරන්නෙමි. නුඹේ වයසේ දී නිදහස වෙනුවෙන් ඉදිරිපත්වී, මා ඉගෙනුම ලැබූ පාසලේ මා විසින්ම දේශපාලන පංති පවත්වා තිබීම ද සිහියට නැගේ.. සියළු දැය සිහිනයක් ලෙස විහිදෙයි…

එම කාල වකවානුව දෙමළ ජාතිකත්වය  පිබිදුනු කාලයයි.. ඊළාම් ඉල්ලීම වෙනුවෙන් විමුක්ති සංවිධානවල, දහස් ගණනක තරුණයන් එක්රැස්වූ කාලයයි.. පාලන ආණ්ඩුවත් සමඟ ආයුධවලින් සාකච්ඡා කළ කාලයයි… එය තරුණයන්ගේ නැගිටීමට අර්ථයක් තිබූ කාලයයි…

සෙන්දූරා නුඹේ වත්මන් කාලය, මුල්ලිවායිකාල්වල රුධිරය ගලා ගොස් වසර පහක වැදගැම්මක් නැතිව ගිය කාලයයි.. අරමුණ දන්නේ නැත..මෙය, අපි ව්යාකූලත්වයෙන් සිටින නුඹේ කාලයේ, බොරුව, වංචාව, අනෙකාගේ පරිත්‍යාගය තම පරිත්‍යාගයන් ලෙස පෙන්වා ගන්නා තක්කඩිකම්, තම දේශපාලන පැවැත්ම සඳහා අනෙකාව බිල්ලට දී වීර කතන්දර ගොතන කාලයයි.

පනස් දාහකට අධික සටන්කරුවන්ගේ ජීවිත පූජාව, ලක්‍ෂ ගණනක ජනතාවගේ මරණය අද තම යහපත හා අවශ්‍යතාවයන් සඳහා , දේශපාලනයේ කේවල් සාකච්ඡාවට ද මාතෘකාවක් වූ ව්‍යාපාරයක් ලෙස පත්වී තිබීමේ කණගාටුදායක තත්වය නුඹ සිත දැන සිටියේද?

සෙන්දූරා තවමත් මට නුඹේ මරණය පිළිගැනීමට නොහැකිව සිටින්නෙමි, හුදෙක් හැඟීම්වලින් පමණක් ජාතියක නිදහස ලබා නොදෙන බව ජනමාධ්‍ය විෂය ඉගෙනුම ලැබූ, දිනපතා පුවත්පත් කියවන නුඹට වැටහුනේ නැද්ද?

මුල්ලිවායිකාල්වල ලේ ගංගාව ගලන විට, තමිල්නාඩුවේ සිට, ඩයස්පෝරා රටවල්වල සිට, එක්සත් ජාතීන් සංවිධාන පරිශ්‍රයේ මුරුකදාස් දක්වා කොපමණ දෙනෙකු තම ජීවිතය පරිත්‍යාග කර තිබෙන්නේ ද? ලෝව කම්පාවට පත්වුනා ද? ශ්‍රී ලංකාවේ පාලකයන් කම්පාවුනා ද?

ඇයි, දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර වවුනියාව බන්‍ධනාගාරයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. අනතුරුව බන්‍ධනාගාර නිලධාරියකුව ප්‍රාණ ඇපකරුවකු ලෙස අල්ලාගෙන විරෝධතා කළෝය. එවිට එහි විරෝධතාවයේ නිරතවූවන් මා සමඟ කථා කළේය.

සංවේදීව දැඩි තීරණය නොගන්න.. මහින්ද සහෝදරවරුන් සමඟ ගැටීම කන්දක් සමඟ ගැටීමක් යැයි පවසා සිටියෙමි. ඔවුන් එය පිළිගත්තේ නැහැ, ඩයස්පෝරා ඥාතීන්, දෙමළ පක්‍ෂයන් තමන් සමඟ සිටින බව පවසා සිටියෝය. සෙන්දූරා අවසානයේ සිදුවුයේ කුමක් ද? උසි ගැන්වූ අය යුරෝපයේ සුබෝපභෝගි දිවියක්‌ ගත කළේය, ගත කරමින් සිටිති. අරගලය කළ නිමලරූපයන් හිංසාවට ලක්වී මිය ගියේය. බොහෝ දෙනෙකුට පහරදී දකුණේ බන්‍ධනාගාරවලට යවන ලදි.

සෙන්දූරා නුඹේ මරණය වීර කථාවක් කරන බොහෝ දෙමව්පියන්, නුඹේ වයසේ දරුවන්ව තම උකුලේ තබාගෙන සිටියි. ඔවුන්ව වෛද්‍යවරුන්, කළමණාකරුවන්, ඉංජිනේරුවන් ලෙස පත්කිරීමට යුරෝපිය රටවල්වල හා රටතුල ද වෙහෙසෙයි… මුදල් සොයා හොඳින් ආහාර පාන භුක්ති විදලා නින්දට යෑමට පෙර ගන්නා විවේක කාලයේ අනෙකාගේ දරුවන්ව උසි ගන්වා ශ්‍රී ලංකා රජය සමඟ සටන් කරන සමාජ අන්තර්ජාල සටන්කරුවන් බවට පත්කරමින් සිටියි.

දරුවා.. නුඹේ මරණය කිසිවිටක දේශපාලකයන්ව නගිටවන්නේ නැහැ.. අවම වශයෙන් අනෙකාගේ මරණයෙන් වීර කථාවන් පෙන්වීමට තැත් කරන්නන්ගේ සිත්වත් කැටිවෙයි ද?

සෙන්දූරා මෙම සිය දිවි හානිකර ගැනීමේ සංස්කෘතිය නුඹෙන් අවසන් විය යුතුයි.. නුඹේ තීරණය ඊළම් දරුවන්ට කිසිවිට ආදර්ශයක් නොවිය යුතුයි.. නුඹේ මරණයෙන් ඔවුන්ගේ සිතුවිල්ලේ පෙලඹීමක් ඇතිවිය යුතුයි.. බුද්ධිමත් හැකියාවන් ප්‍රවර්ධනය කර ගත යුතුයි.. සෙන්දූරා නුඹත් සමඟ සැඟවී ගිය සංවේගය දැන ගැනීමට නොහැකිව වේදනාවට පත්වන්නෙමි.. නුඹව විශිෂ්ටකු ලෙස, මාවිරුවකු ලෙස, වීර පුත්‍රයකු ලෙස පෙන්වා මගේ පැවැත්ම රැක ගැනීමට කිසිවිටක ඉදිරිපත්වන්නේ නැහැ.. නුඹ ඉතිහාස ගතවූ යහපත් පුද්ගලයකි…

නුඹේ දේහය දැවුණු ගින්නෙන් ගල් ගැසුනු සිත්වල කරුණාව ඇතිවේවා…

– නඩරාජා ගුරුබරන් –
– පරිවර්තනය _ ජස්මින්
GLOBAL TAMIL NEWS [ SINHALA ]