WORLD NEWS

ලොව ප්‍රකට ‘බිග් බෙන්’ ඔරලෝසුව වසර හතරකට නිහඬ වෙයි

බිග් බෙන් (Big Ben) ඔරලෝසුව ඊයේ (අගෝස්තු 21) ලන්ඩනයේ වේලාවෙන් හරියටම මධ්‍යාහ්න දොළහේ කණිසමත් සමඟ වසර හතරක කාලයක් සඳහා නිහඬ විය.

‘බිග් බෙන්’ යනු වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි එලිසබත් කුලුනේ පිහිටි යෝධ ඔරලෝසුවේ නාදය හඳුන්වනු ලබන ආදරණීය නාමයයි. බිග් බෙන් වසර හතරක විරාමයක් ලබමින් අද මධ්‍යාහ්න දොළහට සිය අවසන් සීනු නාදය නිකුත් කරන මොහොතේ එය පාමුල පිහිටි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ හුන් මන්ත්‍රීවරුන් පිරිසක් ඉන් බැහැරව යෝධ ඔරලෝසුව දෙස බලා සිටියහ.

සැලසුම් කර ඇති පරිදි ‘බිග් බෙන්’ යළි සිය සීනු හඬ ඇසෙන්නට සලස්වන්නේ 2021 වසරේ ගිම්හාන සමයේය. වසර 157 කාලයක් ලන්ඩන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අබියස සිට සිය සීනු නාදය වාතලයට මුදා හළ බිග් බෙන් යෝධ ඔරලෝසුව 2007 වසරේ මදකට නිහඬ වූ අතර මෙවර එය වසර හතරක් තරම් දීර්ඝ කාලයක් නිද්‍රාගත වනු ඇත.

එම නිහඬතාවය මහා පරිමාණයේ අලුත්වැඩියාවක් වෙනුවෙනි. ‘බිග් බෙන්’ එංගලන්ත ජන ජීවිතයේ ඉතා වැදගත් සංකේතයක් වෙයි. 1859 මැයි 31 වෙනි දින වැඩ නිමවූ ‘බිග් බෙන්’ ඔගස්ටස් පුගින්(Agusutus Pugin) ගෘහ නිර්මාණ ශිල්පියාගේ ඓතිහාසික නිර්මාණ වලින් එකකි.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මන්දිරය සහ එලිසබත් කුළුණ මේ දිනවල මහා පරිමාණයේ අලුත්වැඩියා කිරීමකට ලක් කෙරෙමින් ඇති අතර ‘බිග් බෙන්’ නිහඬ කරනු ලැබීම එම ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට හේතු වන බව පාර්ලිමේන්තු බලධාරීහු පවසති.

‘බිග් බෙන්’ භාර නිලධාරී ස්ටීව් ජැග්ස් (Steve Jaggs) ප්‍රකාශයක් කරමින්, යෝධ ඔරලෝසුව නිහඬ කරනු ලැබීම එලිසබත් කුළුණ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සංධිස්ථානයක් වන බව සඳහන් කළේය.

“මෙම අත්‍යවශ්‍ය නවීකරණ ව්‍යාපෘතිය ‘බිග් බෙන්’ පිහිටි එලිසබත් කුලුනේ ස්ථාවර පැවැත්මට මෙන්ම එය ඔරලෝසුවේ ආරක්ෂාව දිගුකාලීන වශයෙන් සහතික කෙරෙන වැඩ පිළිවෙලක්” වන බව ස්ටීව් ජැග්ස් (Steve Jaggs) වැඩි දුරටත් පවසයි.

එලිසබත් කුළුන උසින් මීටර් 96 කි(අඩි 315) . ‘බිග් බෙන්’ ඔරලෝසුවේ බර ටොන් දාහතරකට ආසන්න වෙයි. (ටොන්13.7) එලිසබත් කුලුනේ නවීකරණ ව්‍යාපෘතියේ දී අලුත් සෝපානයක් සහ මුළුතැන් ගෙයක් ඊට එක් කෙරෙන බව නවීකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී ඇඩම් වැට්රෝබ්ස්කි(Adam Watrobski) පවසයි.

එලිසබත් කුලුන නවීකරණය කෙරෙද්දී ‘බිග් බෙන්’ ඔරලෝසුවේ සුවිශාල මුහුණත නිමවා ඇති තහඩු හතරත් සෙසු උපාංගත් කොටසින් කොටස ගලවා ඉවත් කර ගනිමින් පිරිසිදු කෙරෙනු ඇත.

එවැනි මහා පරිමාණයේ අලුත් වැඩියාවක් සිදු කෙරෙමින් පැවතුනත් නව අවුරුදු උදාව සහ ‘යුද සමරු ඉරිදා’ වැනි ප්‍රධාන අවස්ථාවන්හි දී ‘බිග් බෙන්’ සිව් අවුරුදු නිද්‍රාවෙන් මදකට මිදී සිය සුපුරුදු සීනු නාදය වාතලයට එක් කරනු ඇත.

– By – BBC Sinhala