දරුවන්ගේ ආරක්ෂාවත් අභිවෘද්ධියත් වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම රජය ගන්නවා – ජනපති

ජාතියේ දරු පරපුර දැනුමෙන් මෙන්ම ගුණයෙන් යුත් යහපත් දරු පරපුරක් ලෙස ගොඩනැගීමට රජය කැපවී සිටින අතර, දරුවන්ගේ ආරක්ෂාවත් අභිවෘද්ධියත් වෙනුවෙන් ගතයුතු සෑම පියවරක්ම රජය ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ දිනට යෙදී තිබූ ලෝක ළමා දිනය වෙනුවෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය එක්ව පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ දී සංවිධානය කර තිබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුලුවට එක්වෙමිනි. මත්ද්‍රව්‍යවලින් රටේ දරු පරපුර නිදහස්කර ගැනීම සදහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන අතර ඒ සදහා ජාතික වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

රජය එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන විට දරුවන්ට වඩා මුදලට ඉහළ වටිනාකමක් ලබාදෙමින් මුදල් පසුපස හඹායන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුගිය කාලසීමාව තුළ ඊට පිළිතුරු ලබාදුන්නේ මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර නොමිලේ බෙදාහරිමින් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා මෙම අභියෝගකාරී තත්ත්වයන් හමුවේ දරුවන් බේරාගැනීම සදහා සමාජයේ සියලූදෙනාගේ අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කළේය.

වාර්ෂිකව දුම්වැටි සහ මත්ද්‍රව්‍යවලින් රජයට ලැබෙන වැඩි ආදායම නොසළකා රජයේ ආදායම් සකස් කළයුතු බවට තමා මහාභාණ්ඩාගාරය වෙත උපදෙස් දුන්නේ අනාගත පරපුර මතින් නිදහස් පරපුරක් බවට පත්කිරීමට බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය. දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කරමින් ඉන් සමාජය නිදහස් කරගැනීමේදී හොදම මාධ්‍ය සහ පණිවිඩකරුවා වන්නේ දරුවා බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

https://www.facebook.com/maithripalas/videos/10155544665201327/

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top