නැවත වරක් ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන ගොස් රට ගිනි තැබීමට ඉඩ දිය නොහැක – ඩිලාන් පෙරේරා

නැවත වරක් ජාතිවාදය, ආගම්වාදය කරපින්නාගෙන ගොස් රට ගිනි තැබීමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්ථාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය.

මෙරට දේශපාලන ඉතිහාසයේ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දේශපාලකයෙක්ම ජාතිවාදය ආගම්වාදය අවුස්සමින් කටයුතු කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයීමට වසර 67ක් ගත වූයේ එකී දේශපාලන හැසිරීම නිසා යැයි ඩිලාන් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

ජාතික ප්‍රශ්නයත් සමඟ මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හැමදාමත් කළේ ෆුට් බෝල් ගැසීම බවයි හෙතෙම කියා සිටියේ. තවදුරටත් ජාතික ප්‍රශ්නය නොවිසදා එය පාවිච්චි කර ජාතිවාදය,ආගම්වාදය අවුස්සමින් කටයුතු කරන්නේ නම් එය අනාගත පරම්පරාවට කරන හානියක් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික ප්‍රශ්නය විසඳා ගැනීමේ හොඳම අවස්ථාව වර්තමාන පාර්ලිමේන්තුවේ ගොඩනැගී ඇති හෙයින් නැවත එවැනි අවස්ථාවක් නොඑන බව අවධාරණය කළ ඔහු පෙන්වා දුන්නේ අන්තිම බස් එක මඟහරවා ගත යුතු නැති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top