කතානායකවරයාගේ නිදහස් දින පණිවුඩය

”මානව සංහතියේ ඉතිහාසය නිදහස වෙනුවෙන් කල ශ්‍රේෂ්ඨ අසමසම කැපවීම්වලින් පිරී තිබීමෙන් පසක් වනුයේ සෑම මනුෂ්‍යයකුම අපේක්ෂා කරන ජීවිතය පිළිබඳ පුළුල් අරුතක් එය තුළ ගැබ්ව ඇති බවයි.

අප මාතෘභූමියේ ‍ඉතිහාසයද නිදහස වෙනුවෙන් ධෛර්ය සම්පන්නව සටන් කළ උතුම් මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්ගෙන් සැරසී ඇත. විශේෂයෙන්ම බටහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා ගැනීමට සිංහල, දෙමළ, මුස්ලිම් නායකයන් එකම අරමුනකින් එක්සත්ව, එක්සිත්ව සටන්කල විරෝධාර පරාමාදර්ශය 70 වන නිදහස සමරන මේ මොහොතේ ස්මරණය කෙරෙයි.

එලෙස , දිනාගත් නිදහසේ සැබෑ ආශ්වාදය පූර්ණ වශයෙන් භුක්ති විඳින්නට ගෙවීගිය කාලය තුළ ශ්‍රී ලාංකික ජාතියට බාධකයන් වූ කරුණු පිළිබඳ අපගේ අවධානය යොමු වීය යුතුය.

එඅතරින්, මූලික වූ ජාතීන් අතර අනවබෝධය හා අසමගිය නැමැති අඳුරු මතකයට සමුදෙමින් අද අප එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඉදිරියට යමින් සිටිම මාතෘ භූමියේ අනාගතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු දල්වයි.

සමඟිය තුලින් බොහෝ ආර්ථික, සාමාජීය අභියෝග ජයගත හැකි බව නිසැකය. එම සත්‍ය පසක් කර ගතහොත් සියළු බෙදීම් පසෙකලා සදාචාරසම්පන්න, ස්වයංපෝෂිත, සෑම අතින්ම ශක්තිමත් දේශයක් ලෙස නැගී සිටින්නට අපහසු නොවන බව මා දැඩි ලෙස විශ්වාස කරමි.

එ බැවින් , අනාගත පරපුරට සැබෑ නිදහසක් උරුමකර දීම උදෙසා ස්වාර්ථය පසෙකලා මාතෘ භුමිය වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව එක්සත්ව කැප වන ලෙස නිදහසේ 70 වන දශකය නිමා කරන මේ මොහොතේ සමස්ත ශ්‍රී ලාංකික සහෘද ජනතාවට ආයාචනා කරමි.”

කරු ජයසුරිය
කථානායක,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top