යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු වෙඩි තැබීමකින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිළධාරීන් පස්දෙනා ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහේස්ත්‍රාත් එස් සදීස්වරන් නියෝග කළේය.
ලබන 18 වෙනිදා සැකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන විට ඇසින් දුටු සාක්ෂි සහ විශේෂ සාක්ෂි ඇත්නම් ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත් නියෝග කොට ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු පොලිස් මාර්ග බාධකයක් අසලදී වෙඩි ප්‍රහාරයකින් මිය ගියේ පසුගිය ඔක්තෝබර් මස 21 වෙනිදාය.
ඔවුන්ට වෙඩිතබන ලද්දේ පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් බවට චෝදනා එල්ල වීමෙන් පසුව එදින රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පස්දෙනෙකුගේ වැඩ තහනම් කොට ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නොවම්බර් 04 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
අද (නොවැ 04) එම සැකකරුවන් පස් දෙනා නැවත අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නමුත් ඔවුන්ට ඇප ලබාදීමක් සිදු නොවුණි.
සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒම දැඩි රැකවරණය මැද සිදු කෙරුණු අතර යාපනය නගරයේද ආරක්ෂාව දැඩිකොට තිබුණි.
බිබිසි සිංහල