කේ.පී.ගේ නෞකාවක් ඇතුළු වෙඩි නොවැදින මෝටර් රථ හා ජීප් රථ 8 ක් මුහුදේ ගිල්වයි

යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිත කළ මිල අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් සහ කොටි සංවිධානය භාවිතා කළ නෞකාවක් මීගමුවට ආසන්න බටහිර මුහුදේ ගිල්වා දැමීමට නාවික හමුදාව ඊයේ(26) කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ මීට අමතරව මැලේසියාවේ සිට මෙරටට රැගෙන ආ එල්ටීටීඊ සංවිධානය සතුව තිබූ වෙලින් නෞකාව ද මෙම ප්‍රදේශයේදී මුහුදුබත් කළ බවයි.

හිටපු ජනාධිපතිවරුන් යුද සමයේ භාවිත කළ වෙඩි නොවදින රථ වෙන්දේසි කිරීමට හැකියාවක් නොමැති අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාවක් ද නොමැත.

මේ හේතුවෙන් එම රථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව බටහිර මුහුදේදී ගිල්වා දැමීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

එමෙන්ම එල්ටීටීඊ ජාලයට අයත්ව තිබූ වෙලින් නෞකාව කලක් නාවික හමුදාවේ කටයුතු සඳහා භාවිත කළ ද දිරාපත් වීමෙන් පසුව එය ඉවත් කර තිබුණි. එම නෞකාව කොටි සංවිධානයට ආයුධ සැපයූ එහි ජාත්‍යන්තර නායකයා ලෙස කටයුතු කළ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන්ට අයත් බව පැවැසෙන අතර, කේ.පී. අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව එම නෞකාව ඉන්දුනේසියාවේ සිට නාවික හමුදාව විසින් මෙරටට ගෙන එන ලදි.

යකඩ ලබා ගැනීම සඳහා මෙම නෞකාවේ කොටස් වෙන්දේසි කිරීමට මීට පෙර තීරණය කර තිබුණ ද ඊට හිමිවී ඇත්තේ අඩු ලංසුවකි. ඒ හේතුවෙන් මෙම නෞකාව ද මුහුදුබත් කර දැමීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top