2017 අංක 24 දරණ නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
ඒ අනුව ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් වන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා සඳහන් කළේය.
මෙහිදි උපයන විට ගෙවීම මත බදුද සංශෝධනය කර ඇති අතර මෙහි විශේෂත්වයක් වන්නේ සේවා නියුක්තිකයන්ගේ ආදායම් මත බදු පැනවීමය.
ඒ අනුව සේවා නියුක්තිකයන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් හෝ ඊට අඩුනම් ඔහුගෙන් බදු අය කිරීමක් සිදුනොවෙන බවයි දේශීය ආදායම් කොමසාරිස්වරයා සදහන් කළේය.
කෙසේවෙතත් රුපියල් ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහස දක්වා 4%ක්ද රුපියල් එක් ලක්ෂ 50,000 සිට රුපියල් ලක්ෂ දෙක දක්වා 8%ක්ද, රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා 12%ක්ද රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ තුන දක්වා 16%ක්ද රුපියල් ලක්ෂ තුනේ සිට රුපියල් තුන් ලක්ෂ පනස් දහස දක්වා 20%ක්ද බදු ලෙස අය කරනු ලබයි.
රුපියල් තුන් ලක්ෂ පනස් දහසට වැඩි මාසික වැටුප් ලාභීන් සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය 24%ක් බව සඳහන්ය.
මෙම බදු අය කිරීමට සේවා නියුක්තිකයෙකුගේ වැටුප් කොමිස් මුදල්, අතිකාල දීමනා, පාරිතෝෂික දීමනා, ප්‍රවාහන දීමනා හා අනෙකුත් දීමනා, ගෙවල් කුලී, විදුලි හා දුරකථන දීමනා, විනෝද දීමනා ඇතුළු ඊට සමාන්තර ගෙවීම් රැසක් ඇතුළත්ය.
කෙසේවෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබේ.
මීට අමතරව විදෙස් ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේශනය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකු ගත මුදල්වලට ලැබෙන පොලිය මතද 5%ක නව බද්දක් මෙම ක්‍රමය මගින් අය කෙරෙනු ලබයි.
මේ අතර නිවාස, ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන වාහන මතද නව බද්දක් හදුන්වා දී තිබේ.
ප්‍රග්ධන ලාභ මත බද්ද ලෙස මෙය හදුන්වනු ලබන අතර එමගින් ලාභයෙන් 10%ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරනු ලබන්නේ එම දේපල පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වන දිනට පැවති වෙළෙදපල වටිනාකම අදාළ කරගනිමින්ය.
– ලංකා ටෘෘත් –