අගමැතිගේ නත්තල් දින සුබ පැතුම් පණිවිඩය

“සාමයේ කුමාරයාණන් ලෙසින් සුවහසක් කිතු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමස්ත මානව ඉතිහාසයේ සුවිශේෂ සංසිද්ධියක් බව අපි දනිමු.

ස්වර්ගය ද, මිහිතලය ද, සමස්ත සොබාදහමද ජේසු බිළිඳුන්ගේ උපත නිසා එක සේ ප්‍රීතිමත් වූ අතර, එතුමා ඉපදුණු ගවහල දුප්පත් එඩේරුන්ටත්, රජවරුන්ටත් එක සේ සාමයේ සිහිල ගෙනා නවාතැනක් විය. මිහිමත සියලූ ජනතාවට සාමයේ, සමානාත්මතාවයේ, සංහිදියාවේ විමුක්ති මඟ කියන්නට කැප වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකුගේ ආගමනය සිදුවූයේ එලෙසිනි.

‘කිතු උපතින් නැවුම් වන මිනිසත් බවට ඉඩදෙමු.’ යන මෙවර රාජ්‍ය නත්තල් උත්සවයේ තේමාව කිතු උපත පිළිබඳව ගැඹුරින් සිතා බලන්නටත්, එය අපගේ ජීවිතාදර්ශය කරගන්නටත් මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කරමි.

සාමය, ප්‍රේමය මුල් කරගනිමින් ක්‍රිස්තුන් වහන්සේ ගෙන ගියාවූ අවිහිංසාවාදී විප්ලවය අපගේ ජීවිත තුළ අත්දකින්නටත්, එතුමන්ගේ ජීවිතාදර්ශය තුළ ආගමික, ජාතික, සංස්කෘතික විවිධත්වය අගය කරමින්, පිළිගනිමින් සියල්ලන් සමඟ සහජීවනයෙන් දිවි ගෙවන්නටත් මෙම නත්තලේ දී අදිටන් කරගනිමු.

ලක්වැසි කිතුනු ජනතාවටත්, සමස්ත ලෝකවාසීන්ටත් අසිරිමත්, අර්ථවත් සුබ නත්තලකට ආසිරි පතමි. “

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top