තම ඉඩම්වලට යන තෙක් ජනතාව සිය අරගලය පවත්වාගෙන යනු ඇති බව ජනපතිට පැවැසුවා – සම්බන්‍ධන්

කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම්වලට දින දෙකකින් විසඳුමක් ලබාදිය යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්‍ෂක අංශයට නියෝග කර ඇති බවත්, කෙසේ නමුත් ජනතාව තම ඉඩම්වලට යන තෙක් ඔවුහූ අරගලය පවත්වාගෙන යනු ඇති බව ජනාධිපතිවරයා වෙත පැවැසූ බව විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ඉඩම් ප්‍රශ්ණය සම්බන්‍ධයෙන් ඊයේ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි අංක 30 විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා මේ බව පවසා තිබේ.

කේප්පාපිලවු සහ පුදුකුඩිඉරුප්පු ජනතාව තමන්ගේ ඉඩම් යළි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා මාසයකටත් අධික කාලයක් මුළුල්ලේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටින බවත්, කේප්පාපිලවු ප්‍රදේශයේ පවුල් පනස් හතරකට රජය විසින් ඉඩම් බලපත්‍ර ලබාදී තිබෙන අතර, පවුල් හතලිහකට අයත් බලපත්‍ර දිසාපති කාර්යාලය හරහා පරික්ෂා කර සහතික කර ඇති බව ජනාධිපතිවරයා වෙත පෙන්වාදුන් බව හෙතෙම පවසා තිබේ.

ඉඩම් අහිමි වූ ජනතාවට ස්ථාන දෙකකින් ඉඩම් ලැබී ඇතැයි ද එම නිසා අදාළ පිරිසට එක ඉඩමක් තෝරාගැනීමට සිදුවන හෙයින් ජනතාවගේ කැමැත්ත විමසා ඔවුන්ව නැවැත පදිංචි කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කළ බව හෙතෙම පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top