ඩෙංගු මර්දන වැඩසටහන අද (01)සිට ඇරඹෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට නියමිත තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද (01) සිට ආරම්භ කෙරේ.

ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවයි.

2017 වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 53,000 ක් වාර්තා වී ඇත. සිදුව ඇති මරණ සංඛ්‍යාව 150 කි. තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන තුළ දී සෑම සතියකම සිකුරාදා දිනයන්හී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පැයක කාලයක් සිය පරිශ්‍ර පවිත්‍ර කළ යුතුය.

පාසල් පද්ධතිය පවිත්‍ර කිරීම විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සහ දරු දැරියන් විසින් සිදු කළ යුතු වෙයි. නිවාස පරිශ්‍ර සතියකට වරක් පවිත්‍ර කළ යුතු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය.

හදිසි ආපදාවට ලක් නොවූ දිස්ත්‍රික්ක 07 ක මෙම ඩෙංගු මර්දන ජාතික වැඩසටහන පළමුව ආරම්භ කෙරේ. ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය යළි වැඩි විය හැකි බැවින් එය මර්දනය කිරීමෙි වැඩපිළිවෙළක් ද ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top