අනුර සේනානායකට ඇප

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇප මත නිදහස් කරලීමට අධිකරණය විසින් තීරණය කර තිබේ.

තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රු. ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

සතියේ සෑම දිනකම ඉරිදා පෙරවරුවේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටත්, අනුර සේනානායක මහතාට විදේශ ගතවීම තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණ බාරයේ තැබීමටත් අධිකරණය තීරණය කරන ලදී.

ඇප ලබාගැනීමෙන් පසුව පරීක්ෂණ කටයුතුවලට හෝ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ලැබුවහොත් නඩු විභාගය අවසන්වතනුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තබන බවටත් විනිසුරුවරයා විසින් අවවාද කර තිබේ.

ශරීර ඇප ලබාදෙන ඇපකරුවන් තිදෙනා අතුරින් එක් අයෙකු පවුලේ සමීප ඥාතියෙකු විය යුතු බවට ද විනිසුරුවරයා සඳහන් කර ඇත.

පසුගිය වසරේ මැයි 23 වන දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකාර අනුර සේනානායක, එදින සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top