සතොස සීනි කන්ටේනරයක කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව රේගු නිළධාරින් තුනකට ස්ථාන මාරුවීම්

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාව වෙත එවා තිබු සීනි කන්ටේනරයක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 218ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව එම කන්ටේනර් රථය වරායේදී පරික්ෂා කළ රේගු නිලධාරීන් තිදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21) සිට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

නියෝජ්‍ය රෝගු අධ්‍යක්ෂවරයකුට, රේගු අධිකාරිවරයකුට සහ සහකාර රේගු අධිකාරිවරයකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (22) සිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.

එම පරීක්ෂණයේ මුලික පියවර වශයෙන් මෙම නිලධාරීන් තිදෙනා පරිපාලන අංශය වෙත මාරුකර යැවු බවද ඒ මහතා පවසයි.

මෙම නිලධාරීන් තිදෙනා සීනි කන්ටේනරය නිසි අයුරින් පරික්ෂාවට ලක් කළේද, සිද්ධියේ දී ඔවුන් අතින් කිසියම් අතපසු වීමක් සිදුව ඇතිද යන්න සෙවීම සදහා මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

සතොස මගින් පෞද්ගලික සමාගමක් හරහා බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වන ලද එම සීනි කන්ටේනරය ඉකුත් 19වැනිදා රත්මාලන ආර්ථික මධ්‍යස්ථානයේදී විවෘත කිරීමේදී එහි ගමන් මලු 10ක තිබී සොයාගත් එම කොකේන් තොගයේ වටිනාමක රුපියල් ලක්ෂ 32,000 ක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top