පිළියන්දල වෙඩි ප්‍රහාරයෙන් මියගිය දැරියගේ දෙමව්පියන් ජනපතිව හමුවෙයි..

මත්ද්‍රව්‍ය වැටලීමක් සදහා සහභාගී වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පිරිසකට පසුගියදා පිළියන්දලදී එල්ල වූ වෙඩි ප්‍රහාරයට මැදිව මිය ගිය දැරියගේ දෙමව්පියන් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

පසුගිය මැයි 09 වන දා පිළියන්දල, මොරටුව පාරේදී එල්ල වූ මෙම සාහසික වෙඩි ප්‍රහාරයට මැදිව තම පියාගේ වෙළෙද සැළ අසළ සිටි 11 හැවිරිදි සමාධි රංසිකා දියණිය ජීවිතක්ෂයට පත්වූ අතර ඇයගේ වැඩිමහල් සොහොයුරා වන 17 හැවිරිදි සදීප රුක්ෂාන් සහ ඇගේ බාල සොහොයුරිය වන 08 හැවිරිදි සෙනුරි පතිරණ දැරිය ද තුවාල ලැබීය.

සමාධි රංසිකා දියණියගේ දෙමව්පියන් සහ සහෝදරයන් දෙදෙනා අද මෙලෙස හමු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ සුවදුක් විමසූ අතර අදාළ සිදුවීම පිළිබදව සිය දැඩි කනගාටුව ප්‍රකාශ කළේය.

තුවාල ලැබූ දරුවන් දෙදෙනාගේ ඉදිරි වෛද්‍ය ප්‍රතිකාර කටයුතු පිළිබදව ද විමසා බැලු ජනාධිපතිතුමා ඔවුන්ගේ පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් ද සිදු කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top