ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21වැනි නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පියවර ගෙන තිබේ. ඒ අනුව ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී නව නාවික හමුදාපතිවරයා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට නාවික හමුදාපති ධුරයේ ලබා දී තිබු සේවා දිගුව ලබන 22වනදායින් අවසන් වීමත් සමඟ මෙම පත් කිරීම සිදු කර තිබේ.

රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා 1982 නොවැම්බර් 15වනදා නාවික හමුදාවට එක්ව ඇත. ත්‍රිකුණාමලයේ පුහුණු නාවික සෙබළකු වූ ඔහු 1986දී සිය නාවික උපාධිය සම්පූර්ණ කර තිබේ. ට‍්‍රැවිස් සින්නයියා මහතා වීර වික‍්‍රම විභූෂණ, රණවික‍්‍රම, රණශූර (තෙවරක්) හා උත්තම සේවා යන ඉහළම සම්මානයන්ට පාත‍්‍ර වූ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

සිව්වැනි ඊළාම් යුද්ධයේ දී ජාත්‍යන්තර මුහුදේ කොටි ත්‍රස්තවාදීන් ආයුධ රැගෙන එමින් තිබූ පාවෙන අවි ගබඩා 07ක් විනාශ කිරීමේ මෙහෙයුම් භාර ප්‍රධානියා ලෙස ද එවකට කපිතාන් ධූරයේ සිටි ට්‍රැවිස් සින්නයියා මහතා කටයුතු කළේය.

නව නාවික හමුදාපතිවරයාගේ සේවා කාලය මෙම මස 22 වනදා සිට බලපැවැත්වෙනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top