SPORTS SRILANKAN NEWS

පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා උපදේශක කමිටුවක්

කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති තත්ත්වයෙන් මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමඟ ඊයේ (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනකුට සහභාගි වීමට පෙර තිබූ අවස්ථාව යළි ලබාගැනීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් සංචිතයට ඇතුළත්වන සිසුන් සඳහා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීම, පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීම සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යනාදී කරුණු සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් විය.