පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්විණි..

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දි පැවැත්විණි.

අනාගත පුරවැසියන් පරිසර හිතකාමීන් ලෙස සමාජගත කරමින් පාරිසරික උරුමය මතු පරපුරට දායාද කිරීමේ අරමුණින් මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික පරිසර නියමු වැඩසටහන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරනු ලබයි.

7 වන වරටත් පැවැති මෙවර පදක්කම් ප්‍රදානෝත්සවයේදී දිස්ත්‍රික්ක 09 කින් පාසල් 16 ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40 දෙනෙක් ජනාධිපතිතුමා අතින් පරිසර නියමු ජනාධිපති පදක්කම් ලැබූහ. විශේෂ කුසලතා දැක්වූ පාසල් හා ගුරුවරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.

2001-2016 කාලය තුළ පාසලකින් බිහි වූ වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන් සංඛ්‍යාව වූ 73 දෙනෙකු මව් බිමට දායාද කළ හම්බන්තොට තංගල්ල බාලිකා විද්‍යාලය සහ දෙවැනි වැඩිම පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභින් බිහිකළ කුරුණෑගල උඩබදලව සුදර්ශන මහා විද්‍යාලය මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට උපහාර තිළිණ ලැබීය.

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top