SRILANKAN NEWS

මංගල උත්සවයක් සඳහා පාසල් ළමුන් යොදාගැනීමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් පරික්ෂණයක්

මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු යොදාගැනීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

එම අධිකාරිය සදහන් කරනුයේ මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී තිබෙන බවය. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ අධ්‍යාපන බලධාරීන් සමඟ ද මේ වන විට සාකච්ඡා කරමින් සිටී බව සදහන් කළේය.

කිසිදු කටයුත්තක් සඳහා ළමුන්ව හිංසනයට ලක්වන අයුරින් භාවිත කිරීම, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අනුමත නොකරන අතර, එවැනි හිංසන සිදුවීම් පිළිබඳව වහාම 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා පැමිණිලි කරන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පසුගිය (21) පැවැති මෙම මංගල උත්සවය මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ලොව දිගම ඔසරි පොට ඇඳි මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලා ගැනීමට පාසල් සිසුන් සහභාගී කරවාගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ඇතුළු විවිධ සංවිධාන රැසක් සිය විරෝධය පළ කර තිබිණි.