SRILANKAN NEWS

නව මැතිවරණ ක්‍රමය රටට යහපතක් – තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි

මෙරට මැතිවරණ කොට්ඨාස සහ සමානුපාතික ක්‍රම දෙකම සමිශ්‍රණය කර ගොඩනැගූ නව මැතිවරණ ක්‍රමයට පැවැත්වීමෙන් රටට යහපතක් වන බව මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ ප්‍රකාශ කර තිබේ.

මනාප ක්‍රමය අහෝසි වීමෙන් පක්ෂය තුළ ඇතිවන ගැටුම් අවම වන බවත් දැනට සමහර පළාත්වල මන්ත්‍රීවරුන් නැති බවත් දොඩම්ගස්ලන්ද ප්‍රදේශයට වසර ගණනාවක් තිස්සේ මන්ත්‍රීවරයෙක් නැති බවත් මහා නාහිමියෝ පෙන්වා දී ඇත.

මනාප ක්‍රමය අහෝසි වී නව ක්‍රමයට ඡන්දය පැවැත්වීමෙන් ගමට වග කියන මන්ත්‍රීවරු පත්වන බවද මහා නාහිමියෝ පෙන්වා දී තිබේ.

එහිදී මල්වතු අනුනාහිමි දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් සඳහන් කර ඇත්තේ මෙම නව ව්‍යවස්ථාවෙන් රටට යම් අයහපතක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි. නව ව්‍යවස්ථාව පිළිබඳව ජනතාවගේ කැමැත්ත ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විම සුදුසු බවද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත. අනිවාර්යයෙන්ම කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් මුදල් දී ඡන්දය ලබා ගන්නා බවද අනුනාහිමියෝ ප්‍රකාශ කර තිබේ. නැතිනම් පවතින ක්‍රමය යටතේ දිනූ අපේක්ෂකයන් නීතිය අතට ගෙන වාහන පෙළපාළි යමින් මහා විනාශයක් කරන අතර වැටෙන පාවෙන ඡන්ද ගැනීමට එය කදිම අවස්ථාවක් කර ගන්නා බවද උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.

මහානායක හිමියෝ සහ අනුනායක හිමියෝ මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා උන්වහන්සේලා බැහැදැකීම සඳහා ගිය වජිර අබේවර්ධන අමාත්‍යවරයා හමුවේ ය.