WORLD NEWS

ස්පාඤ්ඤයෙන් වෙන්ව යාමට කැටලෝනියාවේ සියයට 90ක් කැමැත්ත පළකරයි

ස්පාඤ්ඤ පාලනය සහිත ‘කැටලන්’ (Catalan) පළාත වෙනම රටක් ලෙස ප්‍රකාශ කළ යුතු බව අවධාරණය කර පැවති ජනමත විමසුමේදී සියයට 90ක අතිබහුතරය කැමැත්ත පළකර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් නීතියට පටහැණි යයි තීන්දු කරන ලද මෙම ජනමත විචාරණය නොපවත්වන මෙන් ස්පාඤ්ඤ ආණ්ඩුව නියෝග කර තිබුණ ද දැඩි අර්බුද හා ප්‍රචණ්ඩත්වය මැද මෙම මැතිවරණය පවත්වා තිබේ. පැවති ජනමත විචාරණයේදී 90% ක කැටලෝනියාව ස්වාධීන රාජ්‍යක් විය යුතු බවට ප්‍රකාශ කර ඇති බව කැටලෝනියානු බලධාරීන් පවසති.

කෙසේ නමුත් ස්පාඤ්ඤ රජය මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී එකක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එය බැහැර කර තිබේ.

මහජනයාට ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණීමට ඉඩ නොදුන් ස්පාඤ්ඤ පොලිසිය, ඡන්ද මධ්‍යස්ථානවලට කඩා පනිමින් ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා පැහැර ගත්හ. ජනමත විචාරණයට පක්ෂව උද්ඝෝෂණය කරමින් සිටි ජනතාවට බැටන් ප්‍රහාර එල්ල කළ පොලිසිය රබර් උණ්ඩ මගින් වෙඩි තබන ලද බව ‘බාසිලෝනා’ නගරයෙන් වාර්තා වෙයි.

තනි රාජ්‍යක් සඳහා වූ අයිතිය කැටලන් ජනතාව දිනාගෙන ඇති බවත්, නිදහස් ප්‍රකාශනය සඳහා වූ දොරටුව විවෘත වී ඇති බවද කැටලන් ප්‍රාන්ත නායක කාර්ලස් බූකිඩමාන්ඩ් පවසයි.