SRILANKAN NEWS

නඩු ස්ථාන මාරු කිරීම දෙමළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අධිකරණවලට අපහස කිරීමකි.

රජයේ සාක්‍ෂිකරුවන්ට ආරක්‍ෂාව නැතැයි පවසා නඩු ස්ථා මාරු කිරීම දෙමළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අධිකරණවලට අපහස කිරීමක් බව දෙමළ සිවිල් සමාජ සංසදය පවසයි.

දෙමළ දේශපාලන සිරකරුවන් තිදෙනෙකුට එරෙහිව ත්‍රස්ත මර්ධන පනත යටතේ චෝදනා ගොනුකර ඔවුන්ට එරෙහි නඩු විභාගය වව්නියාව මහධිකරණයේදී පවත්වාගෙන ගිය අතර, එම නඩු සියල්ල පසුගිය (සැප්තැම්බර්) මස සිට නීතිපතිවරයා විසින් අනුරාධපුරයට මාරුකර තිබේ. එයට විරෝධය පළ කරමින් එම සිරකරුවන් ආහාර වර්ජනයක යෙදී සිටිති. ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ද දිනෙන් දින බරපතල තත්වයට පත්වෙමින් තිබේ.

මෙම සිරකරුවන්ට එරෙහිව සාක්‍ෂි ලබාදීමට හඳුනාගත් පිරිස තමන්ට වව්නියාවේදී ආරක්‍ෂාවක් නැති බවට පවසා තිබීම හේතුවෙන් එම නඩු අනුරාධපුරයට මාරු කළ බව නීතිපතිවරයා පවසා තිබේ. එම ප්‍රකාශය පදනම් විරහිතය. යුද්දය අවසන් වී වසර අටක් ගතවූ පසු වව්නියාවේ රාජ්‍ය සාක්‍ෂිකරුවන්ට තර්ජනය කරන්නේ කව්රුන් දැයි නීතිපතිවරයා පැහැදිළි කළ යුතුයි. දේශපාලන සිරකරුවන්ගේ නඩු විභාග උතුර නැගෙනහිර පළාත්වල සිඳු නොකළ යුතු යැයි නීතිපති දෙපාර්තුමෙන්තුව සිතනවාදැයි සැකයක් පැන නැගී ඇත. එකම රටක් එකම නීතියක් යන හඞ හාස්‍යජනක කරුණක් බවට පත්කර තිබේ. මෙම රටේ දෙමළ ජනතාව පමණක් නොව දෙමළ ප්‍රදේශවල ක්‍රියාත්මක වන අධිකරණ පවා දෙවැනි පංතියට දමා ඇති දැයි ප්‍රශ්ණයක් මතුවී තිබේ. නීතිපතිවරයාට අපරාධ නඩු විභාග කිරීමේදී (prosecutorial discretion) ඇති බලතලවලට සීමාවක් නැතිවම නොවේ. නීතියේ ආධිපත්‍ය හා උතුර නැගෙනහිර අධිකරණවල ස්වාධීනත්වය තහවුරු කිරීම නීතිපති දෙපාර්තුමෙන්තුවේ වගකීමකි. අදාළ නඩු සියල්ල වහාම යළි වව්නියාව මහධිකරණයට මාරු කරන ලෙස දෙමළ සිවිල් සමාජ සංසඳය නීතිපතිවරයා වෙත අවධාරණය කර සිටියි.

දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි යන පොදු ස්ථාවරය දෙමළ සිවිල් සමාජ සංසඳය නැවත අවධාරණය කර සිටියි.

පී.එන්. සිංගම්
මහ ලේකම්, දෙමළ සිවිල් සමාජ සංසඳය,
කුමාරවඩිවේල් ගුරුබරන්,
දෙමළ සිවිල් සමාජ සංසඳය,