SRILANKAN NEWS

වීරවංසට එරෙහිව අල්ලස් නඩුවක්

හෝකන්දර මංගල මාවතේ පිහිටි තෙමහල් මන්දිරය ඉදිකිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා මුදල් උපයාගත් ආකාරය සැක සහිත බැවින් එම මුදල් සොයා ගත්තේ කෙසේද යන්න අනාවරණය කර ගැනීමට සඳහා ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩු පැවරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

2009 දෙසැම්බර් 20 දින රාවය පුවත්පත හෙළිදරව් කළ ආකාරයට විමල් වීරවංස මන්ත්‍රීවරයාගේ මන්දිරය සඳහා හෝකන්දර මංගල මාවතෙන් මිලදී ගෙන ඇති පර්චස් 30ක ඉඩමේ එකල වටිනාකම දල වශයෙන් ලක්ෂ 75ක් පමණ වේ. සියලු අංගෝපාංග සමග අති සුඛෝපභෝගී පහසුකම්වලින් මෙම නිවස ඉදිකරන්නේ නම් වර්ග අඩි 6770ක් පමණ වූ නිවස ඉදිකිරීම සඳහා වැය වෙතැයි එකල සලකන ලද මුදල රුපියල් කෝටි 07කට ආසන්නය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වීරවංස මහතා උපයන මුදල හා වියදම් කරන මුදලත් සැලකීමේදී මෙවැනි විශාල මන්දිරයක් ඉදිකිරීම සැකයට බඳුන් වන්නක් වූ අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ කථාබහේදී වීරවංශ මන්ත්‍රීවරයා එකල මාධ්‍යයට කීවේ අනුමත සැලැස්මටම නිවෙස ඉදි නොවිය හැකි බවත් එය බිරින්දෑවරුන්ගේ (සිය බිරිඳගේ) සිහිනය බවත්ය.

නිවස සඳහා අනුමත සැලැස්ම විමල් වීරවංස මහතා හෝ බිරිඳ වන ශෂී වීරවංස හෙවත් රන්දුනු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති රණසිංහ නමට කඩුවෙල මහ නගර සභාවෙන් අනුමත කරගෙන තිබුණි.

එමෙන්ම එම දිනවල මේ පිළිබඳව ඇති වූ කථාබහේදී විමල් වීරවංස මහතා මාධ්‍යයට තවදුරටත් කීවේ ඔහුගේ මාවරමංඩියේ දේපළ විකුණූ බවත් එම මුදලින් හෝකන්දර ඉඩම මිලදී ගත් බවත් ය. එහෙත් පර්චස් පහක් හයක් පමණ ප්‍රමාණයක් වූ කොමිනිකේෂන් ආයතනයක් පවත්වාගෙන ගිය තට්ටු දෙකක මාවරමංඩියේ එම ගොඩනැගිල්ල ඒ දිනවල දෙවන ගැනුම්කරුවා මිලදී ගෙන තිබුණේ රුපියල් ලක්ෂ පහක මුදලකටය. පළමු ගැනුම්කරුවා එය විමල් වීරවංස මහතාගෙන් මිලදී ගෙන ඇත්තේ ඊට වඩා අඩු මුදලකටය. ඒ අනුව හෝකන්දර සුපිරි නිවස ඉදිකිරීම සඳහා වූ ඉඩම මිලදී ගැනීමටවත් එම මුදල ප්‍රමාණවත් නැති බව රාවය පෙන්වා දෙනු ලැබීය.

රාවය