ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සඳහා නීති විරෝධී අයුරින් ඉහළ දමන ලද වැටුපට අද (24) අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ හොත් හෙට (25) දහවල් 12.00 සිට අඛණ්ඩව වැඩ වර්ජනයක් දියත් කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
2014 වසරේ නොවැම්බර් 27 දින සිදුකළ ඉහත සඳහන් වැටුප් වැඩිකිරීම සඳහා භාණ්ඩාගාරයේ හෝ කැබිනට් අනුමැතියක් ලැබී නොමැති අතර එම වැටුප් වැඩි කිරීම සඳහා අද දිනයේ දී අමාත්යමණඩල අනුමැතිය ලබා දීමේ සැලසුමක් ඇතැයි පවසන එම සන්ධානයේ සම කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කරනුයේ මෙම වංචනික ක්‍රියාව නිසා මසකට රුපියල් ලක්ෂ 400ක අමතර මුදලක් දැරීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවයි.
ඒ අනුව ඉකුත් මාස 36 සඳහා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 1500ක අතිරේක මුදලක් වැය කොට ඇති බවද ඔහු කීය.
විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව මෙලෙස විදුලි ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩිකිරීම නවතා දමන ලෙස බලකරමින් පසුගිය සැප්තැම්බර් 13 වෙනිදා සිට දින පහමාරක අඛණ්ඩ වැඩවර්ජනයක් කළ බවත් එම වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුවහොත් හෙට මධ්‍යහ්නයේ සිට විදුලිබල මණ්ඩලයේ බොහෝ සේවකයන් අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසී සිටින බව ඔහු වැඩිදුරටත් කීය.
Add Comment