SRILANKAN NEWS

මුහුදෙන් එල්ලවිය හැකි තර්ජනවලින් රට ආරක්ෂා කරනවා – නාවික හමුදාපති

මුහුදෙන් එල්ලවිය හැකි සියලු සතුරු තර්ජනවලින් අප රට ආරක්ෂා කරගැනීමට සහ ජාතික ආරක්ෂාව සුරැකීමට. උපරිම සහයෝගය ලබාදෙන බව නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.

එය නාවික හමුදාපතිවරයා ලෙස තමන් වෙත පැවරී ඇති ප්‍රධානතම වගකීම වන බවත්, ඔහු සදහන් කළේය.

ඔහු මෙම අදහස් පළකළේ අද (26) නිවේදනයක් නිකුත් කරමිනි.

එබැවින් මව්බිමේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අධිෂ්ඨාන පූර්වකව ඉටුකිරීම සඳහා ඉදිරියටත් ශ්‍රී ලංකා නාවික හමුදාව තම අණසක යටතේ නිවැරදිව මෙහෙයවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව නාවික හමුදාවේ 22 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් ඊයේ පත් කරන ලදි.

ඒ අනුව, අද (26) උදෑසන, හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් නව නාවික හමුදාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපතිගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙයට සමගාමීව නව නාවික හමුදාධිපතිතුමන් වෙත නාවික හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් ආචාරය පිරිනැමීම ද සිදු කෙරිණි.

ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින්, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සිය නාවික හමුදාධිපති ධූරයේ වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කළ අතර, එම අවස්ථාව සඳහා ඔහුගේ බිරිඳ සන්ධ්‍ය රණසිංහ මහත්මිය හා දියණිය වන සුපුනි රණසිංහ යන අයද සහභාගි වී සිටියහ. එමෙන්ම නාවික හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, ධජ නිලධාරී නාවික දියත් විධානය, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.