SRILANKAN NEWS

නාමල් ඇතුළු සිව්දෙනාගේ නඩු විභාගය ලබන පෙබරවාරිය තෙක් කල් දමයි..

රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත් ආකාරය හෙලි කිරීමට නොහැකිවීම මත මුදල් විශූද්ධිකරණ පනත යටතේ චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සහ ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්‍ෂවරු ඇතුළු සිව්දෙනාට එරෙහි නඩුව ලබන වසරේ (2018) පෙබරවාරි 16 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (31) තීරණය කර තිබේ.

2013 ඔක්තොම්බර් පළමු වැනිදාත් 2014 අගෝස්තු 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කොට සිටින පස් දෙනා අතුරින් ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව හැර සෙසු විත්තිකරුවන් වන පාර්ලිමෙන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී සමරනායක සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා යන අය අද අධිකරණයේ පෙනී සිට ඇත.

විත්ති පාර්ශවයට බාරදිය යුතු ලේඛණ බාරදීම සඳහා නඩුව ලබන නොවැම්බර් 29 වැනි දා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා අදාළ ඉල්ලීම එදිනට ඉදිරිපත් කරන්නැයිද දැනුම් දී ඇත.

ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නැමැත්තා අධිකරණය මග හැර විදේශගතව සිටියි.