SRILANKAN NEWS

නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිසා කාරයි මඩත්තුවලවු ජනතාව පීඩාවට..

නාවික හමුදාවේ ක්‍රියාකාරකම් නිසා කාරයි මඩත්තුවලවු ආදර්ශ ගම්මානයට ලැබීමට තිබූ නිවාස ව්‍යාපෘතිය නොලැබෙන තත්වයක් ඇතිවී තිබෙන බවට එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කර තිබේ. සිංහල පදිංචි කිරීම් සිඳු කිරීමට නාවික හමුදාව ගන්නා උත්සහය මැඩපැවැත්වීමට ජනතා නියෝජිතයන් සහ අදාල නිලධාරින් පියවර ගත යුතු යැයි එම ජනතාව ඉල්ලා තිබේ.

කාරයිනගර්, මඩත්තුවලවු ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ආදර්ශ ගම්මානයක් ඉදිකර තිබේ. එහි යුද්දයට පෙර නිවාස 44ක් ඉදිකර ජනතාව ජීවත්වූ අතර, යුද්දය හේතුවෙන් ඔවුන්ගේ නිවාස විනාශයට පත්වී තිබේ. දැනට එම ප්‍රදේශය නාවික හමුදාව යටතේ පවතින හෙයින් එහි ජීවත්වූ ජනතාව වෙනත් ස්ථානවල තැනින් තැන කූඩාරම්වල ජීවත්වෙති.

මෙම ගම්මානයට අවට අක්කර 126ක ඉඩම් දැනට නාවික හමුදාව යටතේ පවතියි. එහි අක්කර 76ක ප්‍රදේශයක් දැනටමත් නාවික හමුදාව තම යටතට ගෙන තිබේ. අනෙකුත් ප්‍රදේශයන්ද කිසිඳු අවශ්‍යතාවයකින් තොරව නාවික හමුදාව තම යටතේ තබාගෙන සිටියි.

එම ප්‍රදේශයේ මඩත්තුවලවු ප්‍රදේශයට අයිතිව තිබෙන්නේ අක්කර 6ක ඉඩම් ප්‍රමාණයකි. මෙවැනි තත්වයකදී මෙම වසරේදී ඉන්දිය රජයේ මුදල් ආධාර යටතේ රුපියල් ලක්‍ෂ 5ක් වටිනා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලැබි තිබේ. එහිදී යාපනය දිස්ත්‍රික්කයට හිමි නිවාස 24ක් මඩත්තුවලවු ප්‍රදේශයට ලබාදිමට නිලධාරින් පියවර ගෙන තිබුණි. ජනතාව ද තම ප්‍රදේශයට යෑමට සූදානමින් සිටින නමුත් ඉකුත් ප්‍රදේශය නාවික හමුදාව මෙතෙක් නිල වශයෙන් ජනතාවට ලබාදී නොමැති අතර, කටු කම්බි ගසා තම යටතේ තබාගෙන සිටියි.

ඉදිරි දින කිහිපය තුල මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ නොකළේනම් ඉකුත් නිවාස ව්‍යාපෘතිය වෙනත් ප්‍රදේශයකට ලබාදීමේ තත්වයක්ද පවතින බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.