SRILANKAN NEWS

චූදිතයින් සමග සබඳතා පැවැත්වූ කෝප් සාමාජිකයන් ගැන එම පක්ෂවලින් තීරණයක් ගත යුතුයි

කෝප් කමිටුව යම් පරීක්ෂණයක් පවත්වද්දි එහි සාමාජිකයන් චූදිතයෙක් සමග දුරකථක සම්බන්ධතා පැවැත්වීම මුළුමනින්ම සදාචාර විරෝධී විශ්වාසය කඩ කර ගැනිමක් බවත් එම මන්ත්‍රීවරු පිළිබඳව ඒ ඒ පක්ෂවලින් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි.

බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් කළ විමසුමට පිළිතුරු දෙමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂවලින් කෝප් කමිටුවට සාමාජිකයන් පත් කර එවන්නේ එම සාමාජිකයන්ට කෝප් කමිටුවේ කටයුතු පිළිබඳව අවබෝධයකින් හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැනුවත් බවකින්ද යුක්තව බවයි.

එම සාමාජිකයන් සදාචාර විරෝධී ලෙසත් විශ්වාසය කඩවන ආකාරයටත් කටයුතු කර ඇත්නම් ඒ පිළිබඳව ඒ ඒ පක්ෂවල නායකයන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු කීය.

කෝප් කමිටුවට ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් නැති බවද හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් මෙම දුරකතන සංවාද පිළිබඳ හඬපට ඇතුළත් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා විවාදයට සහභාගී සුනිල් හඳුන්නෙත්ති මහතා කතානායකවරයාගෙන්ද ඉල්ලා සිටියේය.

අර්ජුන් ඇලෝසියස් සමග සම්බන්ධකම් පැවැත්වූ සාමාජිකයන් සිටියදී කෝප් කමිටුවට වගකීම් ඉටු කිරීමටත්, පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කිරීමට හැකිවීමත් ගැන කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමන් සතුටට පත්වන බවද ඔහු කීය.

ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීන් සිය යුතුකම් හා වගකීම් නොසළකා කටයුතු කිරීම ඉතාම බරපතල කරුණක් බවද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාෂ කළේය.