නයිජීරියාවේ බෝම්බ ප්‍රහාරයකින් පනහක් මරුට

නැගෙනහිර නයිජීරියාවේ ‘අදමාවා’ ප්‍රාන්තයේ එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් පනස් දෙනෙකුවත් මරණයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

උදෑසන දේව මෙහෙය සඳහා පැමිණි බැතිමතුන්ගෙන් පිරී පැවති ‘මුබි’ නගරයේ පල්ලියක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරකයා රැස්ව සිටි බැතිමතුන් පිරිස අතර සිටින්නට ඇතැයි පෙනී යන බව එම දේවස්ථානයේ සිටි තැනැත්තෙක් ඒඑෆ්පී පුවත් සේවයට කියා සිටියේය.

ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දැයි යන්න ගැන මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ඉදිරිපත් වී නොමැත. නයිජීරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ සෙනග ගැවසෙන ස්ථාන නිතර බොකෝ හරාම් කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වේ.

වසර අටක කැරැල්ල තුළ බොකෝ හරාම් සංවිධානය විසින් ඝාතනය කරනු ලැබ ඇති පුද්ගලයන් සංඛ්‍යාව විසි දහසකට ආසන්න වෙයි.

බොකෝ හරාම් සංවිධානය යටතේ පැවති ප්‍රදේශ හමුදා විසින් යළි සියතට ගනු ලැබීමත් සමග නයිජීරියාවේ ඊසාන දිග කලාපය තුළ සිදු කෙරෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැඩි වී ඇති බව බීබීසී වාර්තාකරු ඉෂාක් ඛලිද් පැවසීය.

ප්‍රහාරය සිදු වූ අදමාවා ප්‍රාන්තයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හතළිස් පස් දෙනෙකු මරණයට පත්විය. කාර්යබහුල වෙළෙඳපොලක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ කාන්තාවන් දෙදෙනෙකු විසිනි.

– bbc.com/sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top