SRILANKAN NEWS

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ පවත්වනවා – අගමැති

කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) සහභාගිවෙමිනි. මෙම අවස්ථාවට සියලු පක්ෂ ප්‍රධානීහු, නීතිපතිවරයා හා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාද සහභාගි වූහ.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාල අධිකරණ වාරණ නියෝගය පිළිබඳ ව අවධානය යොමු කිරීම සඳහා මෙම රැස්වීම විශේෂ හදිසි රැස්වීමක් ලෙස පැවැත්විණි. අදාළ විෂයභාර අමාත්‍ය ෆවුසර් මුස්තාපා මහතාද විශේෂයෙන් මේ සඳහා එක් විය. රැස්වීම සඳහා එක් වූ සියළු පාර්ශ්වයන් විසින් ඒකමතිකව අවධාරණය කරන ලද්දේ කිසිම හේතුවක් නිසා මැතිවරණය ප්‍රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවය.