SRILANKAN NEWS

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට ද අත්සන් තැබේ..

ජනපති මෛත්‍රී දකුණු කොරියානු සංචාරය

ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට තබා ඇත. දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා අතර නිල හමුව ඊයේ (29) පෙරවරුවේ පැවැත්වුණි.

දෙරටේ ද්වි පාර්ශ්වික සබදතා නැවුම් ප‍්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබද මෙහිදී නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළ අතර, සම අත්දැකීම් ඇති රටවල් දෙකක් ලෙස එම සබදතා සෑම අතින්ම ශක්තිමත් කර ගැනීමට අවස්ථාව පවතින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා සදහන් කළේය.

හෝමාගම ටෙක් සිටි (Tech City) සහ කටුනායක එරෝ සිටි ආයතන ස්ථාපනය කිරීම සදහා තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සදහා ජනාධිපතිවරයාගේ එකගතාවය පළ කෙරිණි.

රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට ද අත්සන් තැබිණි. දෙරට අතර අත්සන් තැබුණු ආර්ථික සහයෝගීතාව පිළිබද ගිවිසුමට දකුණු කොරියානු ආර්ථික කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා විසින් අත්සන් තැබීය.

රැකියා බලපත‍්‍ර ක‍්‍රමයට අදාළ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය සහ එරට රැකියා හා කම්කරු අමාත්‍යවරයා විසිනි.

2017-2019 වසරවලට අදාළව ආර්ථික සහයෝගීතා අරමුදල වෙතින් ලබාගත හැකි ණය සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඊට අත්සන් තැබූහ.

ආයෝජන සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුමකට ද ශී‍්‍ර ලංකා ආයෝජන ප‍්‍රවර්ධනය මණ්ඩලය සහ දකුණු කොරියානු වෙළෙද ආයෝජන ප‍්‍රවර්ධනය නියෝජිත ආයතනය අතර අත්සන් තැබිණි. ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ සභාපති දුමින්ද රත්නායක මහතා සහ කොරියානු නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා මෙම ගිවිසුමට අත්සන් තැබීය.

දෙරට අතර සංස්කෘතික, කලා කටයුතු, අධ්‍යාපන, තරුණ හා කී‍්‍රඩා කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට ද විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අතර අත්සන් තැබිණි.