SRILANKAN NEWS

කේ.පී. අත්අඩංගුවට ගන්නැයි ඉල්ලූ ජවිපෙ පෙත්සම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කේ.පී. සතුව නැව් 7ක්, විදෙස් වත්කම්, රත්‍රන්, විදෙස් ගිණුම් පැවැති බවත් රාජපක්ෂ පාලනය තුළ ඒවාට සිදුවූයේ කුමක්ද යන්න හෙළිකරන ලෙසත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් චෝදනා 193ක් සහිතව ජනතා විමුක්ති පෙරමු‍ණ, එම පක්ෂ මන්ත්‍රී විජිත හේරත් මහතා සහ නීතීඥ සුනිල් වටගල මහතා මගින් අභියාචනාධිකරණයේ ගොණු කර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය පසුගිය (30) කටයුතු කර තිබේ.

ඒ අනුව කේ.පී.ට රටින් පිටවීම තහනම් කරමින් මීට පෙර අභියාචනාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගයද ඉවත් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවූ මෙම රිට් පෙත්සම මගින් යුද හමුදාපති, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටියහ.

රාජපක්ෂ පාලන සමයේ ඔහුව අත්අඩංගුවට ගත් අතර වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ගෙන් පසුව එල්.ටී.ටී.ඊ නායකයා ලෙස කටයුතු කළේ කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් බවත් ඔහු සතුව නැව් සහ ව්‍යාපාර ඇති බවත් විශාල මුදලක් ඔහු සතුව ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් මොහොතේ රාජපක්ෂ ආණ්ඩුව සිය රාජ්‍ය නාලිකා මගින් විකාශය කළ අතර ඔහු අත්ඩංගුවට ගැනීමෙන් පසු කිසිඳු නීතිමය ක්‍රියාවලියකට යටත් නොකට ඔහුට රිසි සේ කටයුතු කිරීමට හැකි ආකාරයට හමුදා ආරක්ෂාවද ලබා දෙන ලදී.

යුද්ධය අවසන් වූ ආසන්න කාලයේ තායිලන්තයේදී අත්අඩංගුවට ගත් කේ.පී එම සංවිධානයේ ජාත්‍යන්තර නායකයා සහ ජාත්‍යන්තර මුදල් එකතුකරන්නා මෙන්ම ජාත්‍යන්තර අවි ජාවාරම් කරුවා වශයෙන්ද ක්‍රියා කරමින් සිටියදී එල්ටීටීඊ නායකත්වයටද පත්විය.

ජාත්‍යන්තර පොලීසිය (Interpol) මගින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට ගෙන්වාගෙන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය යටතේ තබාගෙන සිටියේය. ඒ අතර කේපීගේ බිරිඳද තායිලන්තයේ සිට ගෙන්වාගත්තේය.

පසුගිය උතුර පළාත් සභා මැතිවරණ සමයේදී ඔහු සිවිල් පුරවැසියෙකු බව‍ට පත් කර උතුරේ පදිංචියටද අවස්ථාව ලබා දී රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුවේ නිල නොවන නියෝජිතයෙකු වශයෙන් ක්‍රියා කිරීමටද අවස්ථාව සලස දී තිබිණි. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරවලදි කේ.පීද ප්‍රධානියෙකු ලෙස සහභාගී විය.

ත‍්‍රස්තවාදී ක‍්‍රියා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමත්, ජාත්‍යන්තර පොලීසියටද අවශ්‍ය සැකකරුවෙකු වන කේ.පී.ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීමත් ගැටලු සහගත බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දී තිබිණි.

පුවත්පත් වාර්තා, අන්තර්ජාල වාර්තා ආදී කේ.පී. සම්බන්ධ සියළු තොරතුරු සහිතව ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතු බවට තහවුරු වන තොරතුරු රැසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය පෙත්සම සමග අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

– ලංකා ටෘෘත් –