SRILANKAN NEWS

ස්වාධීනව රැඳවුම් පිළිබඳ එක්සත් ජාතීන් සංවිධානයේ තිදෙනෙකු දිවයිනට

ස්වාධීනව රැඳවුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් තිදෙනෙකු අද(04) සිට ලබන 15වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

හොසේ ඇන්ටෝනියෝ ගුවේරා බර්මියුඩෙස්, ලයි ටෝමී සහ එලීනා ස්ටෙයින්ටෙට් යන මහත්වරුන් මෙලෙස සංචාරයේ නිරත වන බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනය කරනු ලැබේ.

ඔවුන් මෙරට විවිධ ස්ථානවල සංචාරය කරනු ලබන අතර කුඩා දරුවන්, සංක්‍රමණිකයන් සහ මනෝ සමාජීය ආබාධ සහිත පුද්ගලයන්, බන්ධනාගාර, පොලිස් ස්ථාන සහ තවත් ආයතන කිහිපයක සංචාරය කරනු ඇත.

මෙම දූත පිරිස කොළඹ, බස්නාහිර, උතුරුමැද, උතුරු, නැගෙනහිර, දකුණු සහ මධ්‍යම පළාත්වල ද සංචාරය කරන අතර එහිදී රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ කණ්ඩායම් හා අනෙකුත් පාර්ශවකරුවන් හමුවනු ඇතැයි සදහන් ය.

එසේම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන 15 වනදා පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් විසින් සිදු කළ සිය නිරීක්‍ෂණ සංචාරයේ තොරතුරු දැනුම් දීමට ද නියමිතය.

2018 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සදහා මෙම විශේෂඥයින්ගේ සංචාරය පිළිබඳ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ද පියවර ගනු ඇත.