SRILANKAN NEWS

සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට ආගමික නායකයින් නායකත්වය ගන්න – ජනපති

සියලූ ආගමික දර්ශනයන්ගේ මගපෙන්වීම වන සංහිඳියාවේ සහ සහජීවනයේ පණිවිඩය ජනතාව අතරට ගෙන යාමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සියලූ ආගමික නායකයින්ගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ඊයේ (12) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති සර්ව ආගමික සහජීවන සමුළුව අමතමිනි.

රට බෙදීමට සටන් කළ ත‍්‍රස්තවාදීන් යුදමය වශයෙන් පරාජය වුව ද මතවාදී ලෙස පරාජයට පත්වී නොමැති අතර, මතවාදයක් පරාජයට පත් කළ හැක්කේ තවත් මතවාදයක් තුළින් බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

විවිධ ජන කොටස් අතරේ ප‍්‍රශ්න හා ගැටලූ පසුගිය දශක කිහිපය පුරා අපේ රටේ දක්නට ලැබුණද පන්සල, පල්ලිය සහ කෝවිලේ ආගමික නායකයින් අතර ගැටුමක් ඇති නොවූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා වැරදි මග යන සමාජය සුවපත් කිරීමට ආගමික දේශනා, අවවාද සහ අනුශාසනා තුළින් හැකි බව ද කියා සිටියේය.

නැවත රට තුළ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබමින් රට තුළ සංහි`දියාව සහ සහජීවනය ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වීම සියලූදෙනාගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට කඩිනමින් සියලූදෙනා ඒකරාශීවීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ජනාධිපතිතුමා පළාත් සහ ප‍්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවන කමිටු පිහිටුවා රටේ සියලූ ජනතාව සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් සමුළුව සංවිධානය කර තිබුණි.