SRILANKAN NEWS

රුසියාවට තේ අපනයනයේදී මතුව ඇති තාවකාලික තහනම ඉවත් කර ගැනීමට කටයුතු කරනවා – ජනපති

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන රුසියාව ශ‍්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීමට අදාළව තාවකාලිකව පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) හපුතලේ පැවති උත්සයකට එක් වෙමිනි.

ඒ පිළිබඳ කරුණු පැහැදිළි කිරීම සඳහා අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත කණ්ඩායමක් රුසියාව බලා පිටත්කර යවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම මේ පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් තමා විශේෂ ඉල්ලීමක් සිදුකරන බව ද සඳහන් කළ ජනාධිපතිතුමා මිත‍්‍ර රාජ්‍යයක් ලෙස ඔවුන්ගේ සහය ශී‍්‍ර ලංකාවට හිමිවනු ඇති බවත් එබැවින් මේ පිළිබඳව තේ කර්මාන්තයේ නිරත කිසිවෙකු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවත් සඳහන් කළේය.

රුසියාවට තේ සපයන එක්තරා සමාගමක් විසින් ඇසුරුම්කරන ලද තේ පෙට්ටියක සිටි තේ කර්මාන්තයට මෙන්ම කෘෂිකර්මාන්තයට ද හානිදායක කෘමියෙකු රුසියාවේදී සොයා ගැනීමත් සමඟ ශී‍්‍ර ලංකාවේ තේ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට රුසියාව කටයුතු කරන ලදී.

අදාළ ගැටලුවට වගකිවයුතු සමාගමට එරෙහිව සම්පූර්ණ පරික්ෂණයක් සිදුකර නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා අදාළ පරික්ෂණවලදී සමාගම වැරදිකරු බවට තහවුරු වුවහොත් ඔවුන්ගේ අපනයන බලපත‍්‍රය තහනම් කිරීමට ද කටයුතු කරන බව මෙහිදී කියා සිටියේය.