SRILANKAN NEWS

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක ණය ආධාරයක්..

ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ නිෂ්පාදනය කල හැකිවන පරිදි පූර්වයෙන් තෝරා ගන්නා ලද කුඩා පරිමාණයේ කිරි නිෂ්පාදන සැකසීමේ සමූපකාර සමිති සහ සංවිධාන 6 ක් නවීන උපකරණ ස්ථාපනය කිරීම මඟින් පූර්ණ ලෙස නවීකරණය කිරීමට අපේක්ෂිතය.

වසර 45 කට වඩා දිවෙන ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර වන සංවර්ධන සහයෝගීතාවය සංකේතවත් කරමින් මෙම සහනදායී ණය මුදල් ලබාදී තිබේ.

අදාළ මූල්‍ය එකඟතා ගිවිසුම සඳහා ඊයේ (27) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තබන ලද අතර ශ්‍රී ලංකවේ ප්‍රංශ තානාපති කාර්ය්‍යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Isabelle MISCOT මහත්මිය ප්‍රංශ රජය වෙනුවෙන් අදාළ ගිවිසුමට අත්සන් කරන ලදී.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පවත්වන ලද මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රංශ රජයේ ආර්ථික උපදේශක Hervé SARNELLI මහතාද සහභාගී විය.