SRILANKAN NEWS

මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක්

මාධ්‍යවේදීන්ට වෘත්තීමය සුදුසුකම් සහිත විධිමත් පුහුණුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්.එම්. සමරතුංග මහතා ඊයේ (02) නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව එම වැඩපිළිවෙළ සකස් කළ යුතු බවත් එහිදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මාධ්‍යවේදීන් වෙනුවෙන් රජය පිළිගත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

රජයට පරිබාහිරව වෘත්තීය මාධ්‍යවේදීන් රැසක් සිටින බව පෙන්වා දුන් ලේකම්වරයා ඔවුන් සඳහා ද වෘත්තීය සුදුසුකමක් ලබාදිය යුතු ආයතනයක් කටයුතු කළ යුතු බව ද ඒ මහතා පැවසීය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ මෙම වැඩපිළිවෙළ ඉතා කඩිනමින් ආරම්භ කර එය රජයට ඉදිරිපත් කළ යුතු බවයි.

පසුගියදා ජනාධිපතිතුමා සමඟ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සිදු කළ සාකච්ඡාවේදී එවැනි අවශ්‍යතාවක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වූ බව ද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.