SRILANKAN NEWS

රාජගිරිය ගුවන්පාලම ජනපති අතින් අද ජනතා අයිතියට

රාජගිරියේ පැවති දැඩි වාහන තදබදයට විසඳුමක් ලබාදෙමින්, රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශීය සමාගමක් එක්ව 2016 වසරේ ගුවන් පාලමේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, වැයකර ඇති මුදල රුපියල් මිලියන 4700 කි. මාස 32 ක් ඇතුලත ඉදිකිරීම් අවසන් කිරීමට යෝජනා වී තිබුණි. අගමැතිවරයාගේ අධීක්ෂණය හා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යක්ෂමතාවයත් මත මාස 20 ක් වැනි කෙටි කාලයක් තුලදී එය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම් අවසන් කිරීමට හැකියාව ලැබී ඇත.

දිගින් මීටර 533 ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77 ක ආයෝජනයකින් ඉදිකර ඇත. මං තීරු 04 ක් ලෙස නිර්මාණය කර ඇති පාළමට මීටර 180 ක පිවිසුම් මාර්ගයක් සහ සමාන්තර පදික වේදිකා 02 ක් ද අන්තර්ගතව ඇත.

ඉහළ නවීන තාක්ෂණය යොදාගනිමින් ඉංජිනේරු ප‍්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබෙන පාලම යකඩ මත කොන්කි‍්‍රට් අතුරා ලංකාව තුළ ඉදිකළ ප‍්‍රථම ගුවන් පාලම ලෙස ඉතිහාසයට එක්වන අතර එමෙන්ම ලංකාවේ ඉදිකළ අලංකාරවත්ම ගුවන් පාලම ද වෙයි.