SRILANKAN NEWS

තරුණයන් 11ක් අතුරුදන් කිරීමේ චෝදනාවට සම්බන්‍ධ කොමදෝරු දසනායක ඇතුළු 5කට ඇප

පුද්ගලයන් එකොළොස් දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගතව සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී.දසනායක ඇතුළු 5 දෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ අද (09) විභාගයට ගත් අවස්ථාවේ මෙලෙස ඇප මත මුදාහැර තිබේ.

ඒ අනුව එක් අයකුරු රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මත මුදා හැරුණු අතර ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කෙරිණි. සැකකරුවන්ට සෑම මසකට වරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද නියෝක කර තිබේ.

එමෙන්ම පරීක්ෂණවලට බාධා එල්ල කිරීමක් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කිරීමක් පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කර තිබේ.

2008 වසරේදී කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඇතුළු මෙම නාවික හමුදා නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.