SRILANKAN NEWS

70 වැනි නිදහස් දිනය දා කේප්පාපිලවු සහ වව්නියාවේ දී විරෝධතා

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය ඊයේ (4) වනදා සැමරූ අතර, කේප්පාපිලවු සහ වව්නියාවේ දී එයට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබේ.

කේප්පාපිලවු පාරම්පරික ඉඩම් නිදහස් කර ගැනීමේ සත්‍යග්‍රහය ආරම්භ කර දින 339ක් අවසන් වී ඇත. මෙවැනි තත්වයකදී සත්‍යග්‍රහයේ නිරතවූ පුද්ගලයෙකු කළු ඇඳුමක් ඇඳ සිය විරෝධය පළ කර තිබෙන අතර, ආහාර වර්ජයකද නිරතව තිබේ.

පාරම්පරික ජනතාව අවතැන් ජීවිතයක් ගත කරමින් සිටින අවස්ථාවක ප්‍රජාතන්ත්‍රික ශ්‍රී ලංකාව තුල නිදහස් දින උත්සවයක් ද? මෙය අපි හෙලා දකින අතර, විරෝධය ද පළ කර සිටින්නෙමු යැයි එම ජනතාව පවසා තිබේ.

කේප්පාපිලවු ජනතාවට අයත් හමුදාව යටතේ තිබෙන ඉඩම්වලින් අක්කර 133.4ක් පසුගිය දෙසැම්බර් මස හමුදාව විසින් දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත භාරදී තිබුණි. කෙසේ නමුත් ඉතුරු පවුල් 104කට අයත් ඉඩම් අක්කර 181ක්ද නිදහස් කරන තෙක් තම සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව එම ජනතා පවසා තිබේ.

මේ අතර, අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඊයේ (4) දින වව්නියාවේ දී සාමකාමී විරෝධතාවක් පවත්වා තිබේ. තමන්ට නිදහසක් නැති තත්වයක් මොන නිදහසක් ද යැයි ඔවුන් ප්‍රශ්ණ කර තිබේ.