උදයංග නිදහස් කර ඇති බවට වාර්තා වී නැහැ

ඩුබායි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා පොලීසියට වාර්තා වී නැතැයි පොලිස් මූලස්ථානය ඊයේ (08දා) සවස සඳහන් කළේය.

එරට අත්අඩංගුවට පත් වී අබුඩාබි ප්‍ර‘දේශයේ රඳවා සිටින උදයංග වීරතුංග මහතා ලංකාවට රැගෙන ඒම පිළිබඳ එරට බලධාරීන් සමග සාකච්ඡා කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (08දා) රාත්‍රී වනවිට අබුඩාබි බලා ගොස් සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම කණ්ඩායමේ කිහිප දෙනෙකු 07 වැනිදා අබුඩාබි බලා ගොස් සිටින බවත්, සෙසු නිලධාරීන් ඊයේ (08දා) රාත්‍රී අබුඩාබි බලා ගොස් තිබෙන බවත් ඔහු කියා සිටියේය.

මිග් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට අදාළව උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට සැලසුම් කර තිබේ.

මෙලෙස අබුඩාබි බලා ගිය කණ්ඩායම මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු, අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකුගෙන් සමන්විතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top