SRILANKAN NEWS

රටේ අස්ථාවර භාවය පාලනය කරන්න – මල්වතු මහනායක හිමි

2015 ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අනලස්ව ක්‍රියා කරන ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ජනාධිපතිතුමාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. විශේෂ ලිපියක් යොමු කරමින් උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකර තිබේ.

2018 පෙබරවාරි 15
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
ගාලුමුවදොර
කොළඹ 01

ගරු ජනාධිපතිතුමනි.,

රටේ ව්‍යාකූලත්වයක් හා අස්ථාවරත්වයක් ඇති නොවන සේ රාජ්‍ය පාලනය මෙහෙයවීම රජය සතු බලවත් වගකීමකි.
———————————————
වර්ෂ 2018 පෙබරවාරි මස 10 වෙනි දින පැවැති ප්‍රාදේශීය සභා, නගර සභා, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශනයෙන් පසු, රටේ උද්ගත වෙමින් පවතින ව්‍යාකූල, අස්ථාවර, අවිනිශ්චිත ස්වභාවය, ජනතාවගේ අභිවෘද්ධිය සහ යහ පැවැත්මට මෙන්ම සමගිය, සමාදානය හා සහජීවනයට බලවත් බාධාවකි. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වාගෙන යාමෙන් රාජ්‍ය පාලනයේ බිඳ වැටීම හා ආර්ථික පරිහානියද ලඟා කර දෙයි.

මෙම තත්ත්වය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට, දැන්වත් 2015 ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අනලස්ව කටයුතු කළ යුතුව ඇත. විශේෂයෙන් අපේ ගම් දනව් වල ගොවි, කම්කරු හා මධ්‍යම පාන්තික ජනතාවගේ ජීවන බර හා ගැටළු විසඳීමට කටයුතු කිරීම හා ජාතික, ආගමික, සංස්කෘතික හා ආර්ථික අභිවර්ධනය මෙන්ම සාමය සමාදානය ඇති කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුව පවතී.

එබැවින් රජයේ සියළු පාර්ශවයන් හා එක්ව, රටේ සමෘද්ධිය හා සෞභාග්‍යය උදාකර ගැනීම සඳහා පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට යත්න දැරීම වඩාත් සුදුසු බව කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටිම්හ.

ඒ වගත් මෙසේම,

තිබ්බටුවාවේ සුමංගල (අත්සන)

මහනුවර උපෝෂිත, පුෂ්පාරාම විහාරද්වයාධිපති
අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන
මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්ථවිර,
මල්වතු මහාවිහාරය, මහනුවර.